කොරෝනා ව්‍යාප්තියට වැඩිම අවදානමක් ඇති ක්‍රීඩාව වොලිබෝල්!!

255
Volleyball

ඉතාලියේ සිදුකළ පරීක්ෂණයක් හරහා COVID-19 වෛරසය ව්‍යාප්ත වීමට වැඩිම අවදානමක් ඇති ක්‍රීඩාව ලෙස වොලිබෝල් ක්‍රීඩාව හඳුනාගෙන ඇත. 

ඉතාලියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ එරට ඔලිම්පික් කමිටුවේ (CONI) මඟ පෙන්වීම යටතේ Polytechnic of Turin විශ්වවිද්‍යාලය මඟින් ක්‍රීඩා ඉසව් හරහා COVID-19 වෛරසය ව්‍යාප්ත වීමට ඇති හැකියාවට අදාළව පරීක්ෂණ කර ඇත. එහිදී හෙළිවී ඇත්තේ එය ව්‍යාප්තව යාමට වැඩිම ඉඩකඩක් ඇති ක්‍රීඩා ඉසව්ව ‘වොලිබෝල්’ ක්‍රීඩාව වන බවයි. 

එම අදාළ ආයතන විසින් දැඩි පරිශ්‍රමයක් දරා සිදුකරනු ලැබූ පරීක්ෂණ අවසානයේ ‘Sport Safely Launches’ යන නමින් නිකුත් කර ඇති වාර්තාව පිටු 404කින් සමන්විතය. එම වාර්තාව හරහා හඳුනාගත් ක්‍රීඩා ඉසව් 387කට අදාළව වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම් මට්ටම් පිළිබඳ විශ්ලේෂණයක් සහ ඒවා නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග රැසක් ද ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඉතාලියේ ක්‍රීඩා වෛද්‍ය සංගමය (FMSI) විසින් ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශ මාලාවක් ද පදනම් කරගෙන ඇත. 

තවද එම අදාළ ක්‍රීඩාවන් 387න් එක් එක් ක්‍රීඩාවට අදාළව COVID-19 වෛරසය ව්‍යාප්ත වීමට ඇති අවදානම මත 0 සිට 4 දක්වා වර්ග කර දැක්වූ ලැයිස්තුවක් ද එහි අන්තර්ගත ඇත. එහිදී 0 – අවදානමක් නොමැති, 1 – අවදානම අඩු, 2 – සාමාන්‍ය, 3 – අවදානම වැඩි සහ 4 – අවදානම ඉතා ඉහළ යන ආකාරයට එම වර්ග කිරීම සිදුකර ඇත. 

ඒ අනුව ඔරු පැදීම, විවෘත තටාක වල පිහිනීම, ගොල්ෆ් සහ ටෙනිස් ක්‍රීඩාවන් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් නොමැති ක්‍රීඩාවන් ලෙස වර්ග කර ඇත. නමුත් එහිදී ටෙනිස් ක්‍රීඩාවට අදාළව ක්‍රීඩකයින් ආරක්ෂක ඇස් ආවරණ සහ අත්වැසුම් පැළඳිය යුතු බවත් සෑම ක්‍රීඩකයෙකුම පන්දු පිරිනැමීම සඳහා තමන් වෙනුවෙන්ම වෙන්වූ පන්දු භාවිතා කළ යුතු බවත් නිර්දේශ කර ඇත. 

සමස්තයක් ලෙස ගත්කළ එම වර්ග කිරීමේ 0 සහ 1 ලෙස වර්ග කර ඇති ක්‍රීඩාවන් සියල්ලම තනි ක්‍රීඩා ඉසව්වන් වන අතර ඒ අනුව ඒ අතරට මලල ක්‍රීඩා ද ඇතුළත් කර ඇත. කෙසේ නමුත් සමහර මලල ක්‍රීඩා ඉසව් වල තරග කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හේතුවෙන් ඒවා පුහුණුවීම් සිදුකරන අවස්ථාවේ 0 සිට ක්‍රීඩා ඉසව්ව පැවැත්වෙන අවස්ථාවේ දී 2 නැතහොත් සාමාන්‍ය අවදානමක් ඇති තත්වයක් දක්වා වර්ධනය වන බව ද මේ හරහා හඳුනාගත හැක. 

කණ්ඩායම් ඉසව් සැලකිල්ලට ගැනීමේ දී වෛරසය ව්‍යාප්ත වීමේ අඩුම ඉඩකඩක් ඇති කණ්ඩායම් ක්‍රීඩාව ලෙස හඳුනාගෙන ඇත්තේ 2 කාණ්ඩයේ වර්ග කර ඇති water polo ක්‍රීඩාව යි. ඊට හේතු දැක්වීමක් ලෙස ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ water polo ක්‍රීඩාව ක්ලොරීනීකරණය කළ ජලයේ ක්‍රීඩා කරනු ලබන බැවින් එහිදී වෛරසය අක්‍රීය තත්වයට පත්වීමයි. 

තවත් කියවන්න; 

මෙහිදී පාපන්දු 3 වන කාණ්ඩයට ඇතුළත් කර ඇති අතර රග්බි, පැසිපන්දු, හෑන්ඩ්බෝල්, සටන් කලා ක්‍රීඩාවන් සහ වොලිබෝල් 4 වන කාණ්ඩයට, එසේත් නැත්නම් වෛරස ව්‍යාප්තියේ අවදානම ඉතා ඉහළ ක්‍රීඩාවන් ගණයේ වර්ග කර ඇත්තේ තවදුරටත් වොලිබෝල් ක්‍රීඩාව වෛරස ව්‍යාප්තියේ අවදානම ඉහළම ක්‍රීඩා ඉසව්ව ලෙස හඳුනා ගනිමිනි. ගෘහස්ථ ක්‍රීඩා ඉසව් වලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිරන්තර ගැටීම, ස්පර්ශ වීම් වලට ලක්වීම සහ ඒවා කුඩා ඉඩ ප්‍රමාණයක ක්‍රීඩා කිරීම මත ඒ හරහා වෛරස ව්‍යාප්ත වීමේ අවදානම ඉහළ යන බව නිගමනය කර ඇත. විශේෂයෙන් වොලිබෝල් ක්‍රීඩාව ඉතා කුඩා ඉඩකඩක් තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකිනෙකාට ඉතා ආසන්නයේ සිටිමින් ක්‍රීඩා කිරීම හරහා එය මෙම ලැයිස්තුවේ ඉහළම අවදානමක් ඇති ක්‍රීඩා ඉසව්ව ලෙස හඳුනාගත් බව ඔවුන් මෙහිදී කරුණු පැහැදිලි කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත. 

කෙසේ නමුත් එකිනෙකා මුහුණට මුහුණ ක්‍රීඩා කරනු ලබන බොක්සිං හා නිරන්තර ගැටීම් හා ස්පර්ශයන් සෘජුවම සිදුවන රග්බි හා පැසිපන්දු වැනි ක්‍රීඩාවන් නොව වොලිබෝල් ක්‍රීඩාව වෛරස ව්‍යාප්තියට වැඩිම අවදානමක් ඇති ක්‍රීඩාව ලෙස හඳුනාගැනීම මෙහිදී පාර්ශව රැසක දැඩි විවේචනයට හේතුවී ඇත.  

එමෙන්ම සියලුම කණ්ඩායම් ඉසව් වලට අදාළව ඔවුන් නිර්දේශ කර සිටින්නේ ක්‍රීඩා කටයුතු නැවත ආරම්භ වූ පසු සෑම තරගයකටම පැය 48ක කාලයකට පෙර සියලුම ක්‍රීඩකයින්ව අදාළ වෛද්‍ය පරීක්‍ෂණ වලට ලක්කිරීම, පසෙක සිටින අතිරේක ක්‍රීඩකයින් මුහුණු ආවරණ පැළඳීම සහ එම අදාළ ක්‍රීඩා ඉසව්ව සඳහා යොදාගනු ලබන සියලුම ක්‍රීඩා භාණ්ඩ හා උපකරණ විෂබීජ හරණය කිරීම වැනි ආරක්‍ෂිත විධිවිධාන අනුගමනය කිරීම සිදුකළ යුතු බවයි.  

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<