“අවශ්‍ය නම් මම ආරම්භක පිතිකරුවෙකු වෙන්න සූදානම්” – තිසර

111

“Where was he hiding, where was he hiding?” ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු ද වන Sunil Gavaskar විසින් එක් තරගයක දී ශ්‍රී ලංකාවේ අවුරුදු 20ක එක් තරුණයෙක් ක්‍රීඩා කරන විලාශය දැක ඔහු පිළිබඳව අදහස් දැක්වූයේ එලෙසිනි. 

මැච් දිනවන චන්දන

සංඛ්‍යා දත්තවලින් වැඩ පෙන්වීමට වඩා ක්‍රිකට් තරග දිනවීම යනු අපහසු කරුණකි. …..

ඒ අන් කවරෙකු වත් නොව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ය. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරය යටතේ පැවති එක්දින තරගාවලියේ සිව්වැනි තරගයට තිසර පළමු වරට කණ්ඩායමට ඇතුළත් කරන්නේ ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීමත් සමඟ ඔහුට එම තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වීමත් සමඟයි. 

ඒ අනුව මෙම තරගයේ දී තිසර විසින් පිතිකරණය සඳහා පිටියට පිවිසි විට ඉන්දියාවේ Zaheer Khan සහ Ashish Nehra වැනි අත්දැකීම් බහුල පන්දු යවන්නන් හමුවේ ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 14ක දී ලකුණු 31ක් වාර්තා කරගන්නට සමත් වන්නේ නරඹන්නන් අමන්දානන්දයට පත්කරමිනි. 

එතැන් සිට වසර 11ක් ගතව ඇති වර්තමානය වන විට තිසර ශ්‍රී ලංකා ජාතික එක්දින ක්‍රිකට් කණ්ඩායමේ අතිශය වැදගත් ක්‍රීඩකයෙක් බවට පත්ව ඇත්තේ ලකුණු 2000ට අධික සංඛ්‍යාවක් වාර්තා කරගනිමින්, තවදුරටත් කඩුලු 150ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම ඉහළ දක්‍ෂතා දක්වමිනි. 

එහි දී ඔහු අවස්ථාවන් ගණනාවක දීම පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවන්නට සමත්ව ඇති අතර එහි දී විශේෂයෙන් ඉනිමේ අවසාන භාගයේ දී ඔහු පැමිණ ක්‍රීඩා කරනු ලබන ප්‍රවේගකාරී ඉනිම් පසුගිය වසර කිහිපය පුරාවටම කැපී පෙනෙන්නට වූ බව නම් නොඅනුමාන ය. 

උපුල් තරංග ලකුණු 7000 බලාපොරොත්තු අතහැර නැහැ

ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු උපුල් තරංග එක්දින ජාත්‍යන්තර තරගවල ශ්‍රී ලංකාවේ 8 වැනි වැඩිම ….

තිසර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම තුළ අංක 3 ස්ථානයේ සිට අංක 9 ස්ථානය දක්වාම පිතිකරණයේ යෙදී ඇති නමුත් ඒ අතරින් ඔහු ඉහළම දක්‍ෂතා දක්වන්නට සමත්ව ඇත්තේ අංක 6 සහ 7 ස්ථානවල ක්‍රීඩා කරමිනි. 

ඒ අනුව ඔහු මේ වන විට එම ස්ථානවල ක්‍රීඩා කරමින් පිළිවෙළින් 34.4ක සහ 20.87ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගන්නට සමත්ව ඇත. කෙසේ නමුත් ThePapare.com අප සමඟ පසුගිය දිනෙක පැවති සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ මේ දක්වා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ඔහුට ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබී නැතත්, ඔහු තුළ සෑමවිටම ඒ සඳහා දැඩි කැමැත්තක් පැවති බවයි. 

“මම ගොඩක් කැමතියි ආරම්භක පිතිකරුවෙකු විදිහටත් ක්‍රීඩා කරන්න. මොකද පාසල් කාලේ වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම වෙනකන්ම මම ක්‍රීඩා කළේ ආරම්භක පිතිකරුවෙකු විදිහට. මම සාමාන්‍යයෙන් පන්දුවට වේගයෙන්, ඉහළින් යන්න පහරවල් එල්ල කරන නිසා වගේම පළමු පන්දුවාර වල ක්‍රියාත්මක වෙන ‘powerplay’ එක නිසා මට පහසුවෙන්ම හතරේ, හයේ පහරවල් වාර්තා කරගන්න අවස්ථාවක් තියෙනවා” යැයි තිසර පැවසීය. 

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි තිසර එහි දී දැක්වූ දක්‍ෂතා හරහා 2008 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කරන්නට ද වරම් ලැබීය. 

එම වසරේ දී ම සිය පාසල් ක්‍රිකට් දිවියේ ඉහළම දක්‍ෂතාවය වාර්තා කරගන්නා ඔහු 74 වැනි සාන්තුවරයින්ගේ සටනේ දී විශිෂ්ට දස්කම් දක්වමින් සිය කණ්ඩායම ඉතිහාසගත ජයග්‍රහණයක් කරා රැගෙන යමින් එහි දී තරගයේ වීරයාට හිමි සම්මානය ද දිනා ගන්නට සමත් විය. 

කෙසේ නමුත් ඔහු සිය ක්‍රිකට් දිවියේ මුල් අවධියේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කර ඇති අතර අනතුරුව කණ්ඩායමේ සමබරතාවය වෙනුවෙන් ඔහුට එහි දී මැදපෙළ ක්‍රීඩා කරන්නට සිදුව ඇත. 

“සාන්ත ජෝසප් විද්‍යාලයේ අවුරුදු 15න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කරන කොට එතකොට අපේ පුහුණුකරු ලෙස කටයුතු කරපු හර්ෂ ද සිල්වා සර් කිව්වා කණ්ඩායමේ මැදපෙළ ශක්තිමත් කරන්න ඕන නිසා මට මැදපෙළ ක්‍රීඩා කරන්න කියලා. එතැනින් පස්සේ අද වෙනකන් අවුරුදු 17න් පහළ හා 19න් පහළ පාසල් කණ්ඩායම්වල වගේම ජාතික කණ්ඩායමේත් මම ක්‍රීඩා කළේ අංක 6 ස්ථානයේ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට.”

ඒ අනුව තිසරට ඔහු කැමති ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුනත් ඔහු මේ වන විට ජාතික කණ්ඩායමේ අංක 6/7 ස්ථානවල ක්‍රීඩා කිරීමට කිසිදු පැකිළීමක් නොදක්වන අතර ඒ අනුව නැවතත් ක්‍රිකට් තරගාවලි ආරම්භ වීමෙන් අනතුරුව ජාතික කණ්ඩායම නියෝජනය කරන්නට ඔහු මේ වන විට දින ගනිමින් සිටියි. 

වැදිබණ නොකියූ වැඩ්ඩන්ගේ වදන්

ක්‍රිකට් ලෝකය තුළ වැඩවලින් කෙසේ වුවත් කටින් දිනන්නට උත්සාහ කරන …..

“මම තාමත් කැමතියි ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරන්න. ඒත් දැන් මට ජාතික කණ්ඩායම තුළ පැවරුණ විශේෂ වගකීමක් තියෙනවා. ඒ තමයි ඉනිමක අවසාන පන්දුවාර වලදී පිටියට ගිහිල්ලා ප්‍රවේගකාරී පිතිහරඹයක් දියත් කරන එක. පන්දු රකින්නෙකු හතරේ සීමාව ආසන්නයේම සිටියත් මට ලොකු විශ්වාසයක් තියෙනවා හතරේ, හයේ පහරවල් මට වාර්තා කරගන්න පුළුවන් කියලා.”

ඔහුගේ ක්‍රීඩා දිවිය දෙස ආපසු හැරී බැලූ කල ඔහු ජයග්‍රහණ රාශියක්ම මේ වන විටත් සිය නම ඉදිරියේ සටහන් කරගෙන ඇති බව හොඳින්ම පැහැදිලි වේ. ඒ අනුව ජාතික කණ්ඩායමේ නායකත්වය දැරීම සහ ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් නියෝජනය කිරීම වැනි සුවිශේෂී ජයග්‍රහණවලට අමතරව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයක දී හයේ පහරක් එල්ල කරමින් ජයග්‍රාහී ලකුණේ හිමිකරුවා බවට පත්වෙමින් කණ්ඩායමට ශූරතාවය හිමිකර දීම වැනි ඉතා දුර්ලභ දක්‍ෂතාවයක් දැක්වීමට තරම් ද ඔහු වාසනාවන්ත වී ඇත. 

අවසාන වශයෙන් දිනෙන් දින සිය දක්‍ෂතා වර්ධනය කරගන්නට ඔහු සතු ඇති උත්තේජනය කුමක් දැයි විමසා සිටි විට ඔහු පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර ශ්‍රී ලංකාවට තවත් ලෝක කුසලාන ජයග්‍රහණයක් අත්කර දීමට ඔහු තුළ විශාල බලාපොරොත්තුවක් පවතින බවයි.  

If required, I’m ready to open the batting – Thisara Perera ලිපියේ සිංහල පරිවර්තනයකි. 

>> විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<