තිළිණ කණ්ඩම්බි Bangla Tigers ප්‍රධාන පුහුණුකරු තනතුරට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය 2021

237
Thilina Kandamby

2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන Bangla Tigers කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කණ්ඩම්බි මහතා පත්කර තිබෙනවා. 

මේ සඳහා ආසන්නතම හේතුව බවට පත්ව ඇත්තේ නිමා වූ ‘ලංකා ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ දී Jaffna Stallions කණ්ඩායම ශූරතාවය දක්වා රැගෙන යමින්, ඒ සඳහා නිසි මඟ පෙන්වූ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි වූ නිසයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී සිසුවෙකු වන තිළිණ කණ්ඩම්බි මහතා, පළමු පෙළ ක්‍රිකට් තරග 163කට සහභාගී වී ඉනිම් 235ක දී නොදැවුනු ඉනිම් 20ක් ද සමඟින් ලකුණු 8758ක් රැස්කර ගෙන තිබෙන අතර ඊට ශතක 19ක් සහ අර්ධ ශතක 41ක් ද ඇතුළත් වේ. 

38 හැවිරිදි තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 39කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ද සහභාගී වී ඇති ඉදිරිපෙළ වමත් පිතිකරුවෙකු වේ. ප්‍රවේගවත් පිතිකරුවෙකු ලෙසින් ද ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන ඉනිම් කිහිපයක්ම ක්‍රීඩා කර තිබෙන කණ්ඩම්බි, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වී සිටින පුහුණුකාර පොකුරේ පුහුණුකරුවෙකු ලෙසින් ද කටයුතු කරන අතර එස්. එස්. සී. කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරමින් අත්දැකීම් ලබාගෙන තිබෙනවා. 

2004 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 39කට සහභාගී වෙනවා. ඔහුගේ අවසන් තරගය වෙන්නේ එංගලන්තය සමඟ මෙරට පැවති තරගාවලියයි. එම වසර 10 තුළ එක්දින ඉනිම් 36ක දී කණ්ඩම්බි රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව 870ක්. ඊට අර්ධ ශතක 5ක් ඇතුළත් අතර ඔහුගේ හොඳම ඉනිම බවට පත්වෙන්නේ ඉන්දියාවට එරෙහිව නොදැවී රැස්කර ගත් ලකුණු 93යි. 

තිළිණ කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5කට ක්‍රීඩා කර ඇති අතර එක් තරගයක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසින් ද කටයුතු කරනවා. ඒ 2011 වසරේ දී එංගලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී වන අතර එම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කින් ජයග්‍රහණය කරනවා. එය කණ්ඩම්බි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අවසන් තරගය වුනේ පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් නිසයි. 

ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 06 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත “2021 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය” සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 13 දෙනෙකු සහභාගී වීමට සිටි නමුත් එම ක්‍රීඩකයින් ගණන දැන් 3ක් දක්වා අඩුව තිබෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින්හට තරගාවලිය සඳහා යාමට අවශ්‍ය අවසරය (NOC) ලබා නොදීම නිසාවෙන්. එසේම Team Abu Dhabiහි කණ්ඩායම් උපදේශක ලෙස කුමාර් සංගක්කාර මහතා පසුගියදා තෝරාගත්තා. 

මෙවර අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, 

  • Bangla Tigers –  මතීෂ පතිරණ 
  • Northern Warriors – මහීෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<