Volleyball Legends දොරට වැඩුම ගාලු මුවදොර දී

159

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ප්‍රකාශයට පත් කරන, වොලිබෝල් සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේකම් වන සුසිල් රණසිංහ මහතා විසින් රචිත Volleyball Legends, Ceylon to Sri Lanka කෘතියේ දොරට වැඩුම අද (16) සවස 6ට කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ගරු ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු කිරීමට නියමිතයි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නාමල් රාජපක්ෂ මහතාට අමතරව ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා කියුබා තානාපති Andres Marcelo Gonzalez Garrido මහතා සහභාගී වීමට නියමිතයි.

ඔවුන් දෙදෙනාට අමතරව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කාංචන ජයරත්න සහ සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක යන මහත්වරුන් ද ග්‍රන්ථය දොරට වැඩීමේ අවස්ථාව සඳහා සහභාගී වනු ඇත.

සුසිල් රණසිංහ යනු මෙරට වොලිබෝල් ක්‍රීඩාව හා බද්ධ වූ කීර්තිමත් පුද්ගලයෙකු වන අතර වර්තමානයේ දී ඔහු ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංවර්ධන කමිටුවේ ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබනවා.

2005 සිට 2015 දක්වා කාලසීමාවේ දී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධුරය දැරූ ඔහු 2006 සිට 2015 දක්වා UNDP හි සාමය සඳහා ක්‍රීඩාව (Sports for Peace) වැඩසටහනේ ක්‍රීඩා උපදේශක කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන ලදි.

2009 සිට 2018 දක්වා කාලසීමාවේ දී ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ උප ලේකම් ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

1954 වසරේ සිට බිහි වූ ප්‍රථම ජාතික වොලිබෝල් කණ්ඩායමේ සිට 2020 දක්වා වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජන කරන ලද සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 358 දෙනෙකු පිළිබඳව තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත් වනවා.

එසේම, ජාතික කණ්ඩායම් පුහුණු කිරීම සඳහා දායකත්වය ලබා දුන් වොලිබෝල් පුහුණුකරුවන් 66 දෙනෙකු සහ ජාතික වොලිබෝල් විනිසුරුවරුන් 18 දෙනෙකු පිළිබඳව තොරතුරු ද මෙම ග්‍රන්ථයේ ඇතුළත්.

ජාත්‍යන්තර වශයෙන් ගත් කල විශේෂයෙන් ජාත්‍ය්න්තර වොලිබෝල් සම්මේලනය (FivB) අනුබද්ධිත රටවල් 221ක් අතරින් මෙවැනි ග්‍රන්ථයක් ලියැවී ඇත්තේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වනවා.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ලද වර්ෂය අනුව අංකයක් ලබා දීම ද මේ පොත මඟින් සිදු කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ සියලුම ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන් ජාතික කණ්ඩායම නියෝජනය කළ අවස්ථාව අනුව අංකයකින් හැඳින්වීම කළ හැකි වනවා.

මෙම ග්‍රන්ථයට අමතරව සුසිල් රණසිංහයන් විසින් “Volleyball Then and Now” (වොලිබෝල් එදා සිට අද) සහ “100 years of Sri Lanka Volleyball” යන ග්‍රන්ථ රචනා කර තිබෙනවා. එයින් 100 Years of Sri Lanka Volleyball ග්‍රන්ථය 2017 වසරේ දී වසරේ හොඳම මුද්‍රිත ක්‍රීඩා ප්‍රකාශනයට හිමි ජනාධිපති සම්මානයට ද පාත්‍ර වී තිබෙනවා.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<