Kohli ටෙස්ට් නායකත්වය අතහරී

1126

සිය හත් වසරක ටෙස්ට් නායකත්වයට සමුදෙන බව ඉන්දීය සුපිරි ක්‍රීඩක Virat Kohli අද (15) නිවේදනය කළා.

Virat Kohliගේ මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කළේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුවයි.

දකුණු අප්‍රිකාවේ දී සිය පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමේ ඉන්දීය උත්සාහය ව්‍යර්ථ කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (14) සමත් වුනා. තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජයග්‍රහණය කළ ද, තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

ඉන්දීය ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් තුනම වසර 6කට අධික කාලයක් මෙහෙයවූ Virat Kohli මීට මාස කීපයකට පෙර එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට සමුදීමට තීරණය කර තිබුණා.

සිය ටෙස්ට් නායකත්වය අත්හැරීම පිළිබඳව Virat Kohli නිවේදනය කර තිබුණේ සමාජ මාධ්‍ය හරහායි.

එහි දී Virat Kohli පවසා තිබූ ප්‍රකාශයේ සිංහල පරිවර්තනය පහත දැක්වෙනවා.

කණ්ඩායම නිවැරදි මාවතකට ගෙන යාමට මම වසර 7ක් වෙහෙස මහන්සි වී වැඩ කළා. මම නොපසුබට උත්සාහයෙන් සෑම දිනක්ම ගත කළා. මම අවංකව එම කාර්යය ඉටු කළ අතර තවත් ඉටුකිරීමට කිසිවක් ඉතිරි කර නැහැ. මගේ විශ්වාසයට අනුව සෑම දෙයක්ම යම් අවධියක නතර විය යුතුයි. ඉන්දියාවේ ටෙස්ට් නායකයා ලෙස මට එයට සමුදීමට කාලය පැමිණ ඇති බව හැඟෙනවා. මේ ගමනෙහි බොහෝ ඉහළ අවස්ථා වගේම පසුබෑම් තිබුණා. නමුත් කිසි විටෙකත් මගේ උත්සාහයේ අඩුවක් හෝ විශ්වාසයේ අඩුවක් තිබුණේ නැහැ. මම සෑම විටම මගේ සෑම දෙයකම 120%ක් ලබා දීමට උත්සාහ කළා. මට ඒක කරන්න බැරි නම් ඒක නිවැරදි දෙයක් නොවන බව මම දැනගෙන හිටියා. මගේ හදවතේ සම්පූර්ණ පැහැදිලි බවක් තියෙනවා. මට මගේ කණ්ඩායමට බොරු කරන්න බැහැ.

මෙතරම් දිගු කාලයක් මගේ රට මෙහෙයවීමට මට අවස්ථාව ලබා දීම ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයට ස්තුති කරන්න ඕනේ. ඊට අමතරව මම නායකයා වූ පළමු දිනයේ සිටම කණ්ඩායම වෙනුවෙන් මා තුළ තිබූ දැක්ම පිළිගත් සහ කිසි විටෙකත් ඒක අත් නොහළ සියලුම කණ්ඩායම් සගයන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඔබලා මගේ මේ ගමන අමතක නොවන සහ ඉතා සුන්දර කරලා තියනවා. කණ්ඩායමේ පිටුපසින් හිඳිමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට අඛණ්ඩව කණ්ඩායම මෙහෙයවූ එන්ජිම වුනේ Ravi Shastri. Rav‍ෙට සහ සහායක කණ්ඩායමට මගේ දැක්ම ජීවමාන කිරීමට උදව් කළ ඔබ සියලු දෙනාටම ස්තූතියි. ඔබ සියලු දෙනා විශාල කාර්යභාරයක් ඉටු කරලා තියනවා. නායකයෙකු විදිහට මම ගැන විශ්වාසය තබා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි දක්ෂ පුද්ගලයෙකු බවට මාව පත්කළ MS Dhoniට විශාල ස්තුතියක් පිරිනමන්න ඕනේ.

MS Dhoniගෙන් අනතුරුව නායකත්වයට පත්වූ Virat Kohli 2014 වසර අවසානයේ දී පළමුවරට ටෙස්ට් තරගයක දී ඉන්දියාව මෙහෙයවූවා. Dhoniගේ ටෙස්ට් විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු එම තරගාවලියේම පූර්ණ කාලීන නායකයා ලෙස වැඩ භාර ගෙන තිබුණා.

වසර ගණනාවක් පුරා, Virat Kohliගේ ටෙස්ට් නායකත්වයේ සාර්ථකත්වය ප්‍රතිඵල වෙතින් දිස්වූ අතර සෙසු ආක්ෘති වලින් Dhoni ඉවත් වූ පසු Virat Kohli ඉන්දීය කණ්ඩායමේ පූර්ණ කාලීන නායකයා බවට පත්වුනා. අවසානයේ දී එතෙක් මෙතෙක් ඉන්දීය කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස හැඳින්වූ දෝනි අභිබවා සාර්ථකම ඉන්දීය ටෙස්ට් නායකයා බවට පත් වීමට Virat Kohli සමත් වුනා.

Virat Kohli යටතේ, ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහලටම පැමිණි අතර ඉන්දීය ඉතිහාසයේ පළමු වරට 2018-19 දී ඕස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

එම තරගාවලියේ දී ඔස්ට්‍රේලියාව පිතිකරණ අංශයෙන් දුර්වල වූ අතර Virat Kohli සහ Ajinkya Rahane යටතේ ඉන්දියාව ඔවුන්ව පරාජය කිරීමට සමත් වුනා. ඉන් වසර දෙකකට පසුව නැවතත් ඕස්ට්‍රේලියාවට පැමිණි ඉන්දීය කණ්ඩායම නැවත වරක් ඕස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වුනා.

ඉන්දියාව මේ වන විට එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරගමාලාව 2-1ක් ලෙස ඉදිරියෙන් සිටින අතර පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට මේ වසරේ අවසන් භාගයේ දී නැවත පැමිණීමට නියමිතයි.

පසුගිය වසරේ පැවති පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ දී ඉන්දියාව අවසන් මහා තරගයට පිවිසිමට ද සමත් වුනා. අවසන් තරගයේ දී නවසීලන්තය හමුවේ පරාජයට පත්වුවත් ඉන්දීය කණ්ඩායම තරගාවලිය තුළ දැක්වූ දස්කම් ඉතාමත් ඉහල මට්ටමක පැවතුණා.

සමස්තයක් වශයෙන් ඉන්දීය කණ්ඩායම Virat Kohliගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 40ක් ජයගෙන තිබෙනවා. එතෙක් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයන් අතරින් ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ Graeme Smith, Rickey Ponting සහ Steve Wough පමණක් වීම Virat Kohliගේ නායකත්වය පිළිබඳව ප්‍රබල සාක්ෂියක් සපයනවා.

Cricbuzz ඇසුරිනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<