කණ්ඩායම් 16 සටන් වදින කොළඹ ලීග් 19න් පහළ තරගාවලිය

741

කොළඹ පාපන්දු ලීගය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාපන්දු තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඉකුත් දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 16 A, B, C සහ D ලෙස කාණ්ඩ 4කට බෙදා වෙන් කර තිබෙනවා.

ඒ අනුව පළමු වටයේ දී එක් එක් කාණ්ඩවල සිටින කණ්ඩායම් තම කාණ්ඩයේ සෙසු කණ්ඩායම් සමඟ තරග වැදීමට නියමිතයි. කාණ්ඩ අදියරේ තරග අවසානයේ සෑම කාණ්ඩයකම ප්‍රථම සහ දෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක මීළඟ වටයට එනම් පිළිමළුන් පිටුදැකීමේ වටයට සුදුසුකම් ලබා ගනු ඇත.

තරගාවලියේ සියලුම තරග බොරැල්ල කැම්බල් පිටියේ දී පැවැත්වීමට නියමිතයි. සතියකට තරග 4ක් පැවැත්වීමට නියමිත අතර සෙනසුරාදා සහ ඉරිදා දිනවල පළමු තරගය පස්වරු 2ටත්, දෙවැනි තරගය පස්වරු 4ටත් ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායම් සඳහා මුදල් ත්‍යාග, කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කරන බව සංවිධායකයින් ප්‍රකාශ කළා.

එමෙන්ම 2004 ජනවාරි 01 වැනිදා හෝ ඉන්පසුව උපන් ක්‍රීඩකයන්ට මෙම තරගාවලියට සහභාගි විය හැකි බව ද තරග සංවිධායකයින් පැවසුවා.

දේශීය විදේශීය පාපන්දු පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<