ලෝක මලල ක්‍රීඩා ප්‍රධානියාට ඔලිම්පික් කමිටුවේ අසුනක්

121

ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී Sebastian Coe අන්තර්ජාතික ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයෙකු බවට පත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාව පසුගිය දා වැඩි ඡන්දයෙන් අනුමත විය.

යොවුන් ඔලිම්පික් උළෙලත් කල් යයි

මේ වන විට 63 වැනි වියේ පසුවන ඔහු පසුගිය දා ක්‍රීඩා අලෙවිකරණ සමාගමක් වන “CSM” හී කළමනාකාර අධ්‍යක්ෂ තනතුරේ සිට විධායක නොවන සභාපති ධුරය දක්වා සිය තනතුර වෙනස් කිරීමෙන් පසුව නැවතත් ඔහුගේ නාමය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වයට යෝජනා වී තිබුණි.

ඒ අනුව එම යෝජනාවට අදාළව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සැසිවාරයේ දී පැවැත්වූ ඡන්ද විමසීමේ දී භාවිතා වූ මුළු ඡන්ද 85න් එම යෝජනාවට පක්ෂව ඡන්ද 77ක් ද, විපක්ෂව ඡන්ද 8ක් ද ලැබුණු අතර වැඩි ඡන්ද 69කින් එම යෝජනාව සම්මත වන ලදි.

මෙලෙස ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය ලැබීමෙන් පසුව එය පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානියා ප්‍රකාශ කර සිටියේ තමන්ට මෙම තනතුර ලබා ගැනීමට ඡන්දය ප්‍රකාශ කළ සියල්ලන්ටම තම ස්තුතිය පිරිනමන බවයි.

මීට අමතරව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියා වන තෝමස් බැච් මහතා ද ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ඔලිම්පික් කමිටු සාමාජිකත්වයට පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කරමින් ප්‍රකාශ කර සිටියේ අවසානයේ දී සාදරයෙන් පිළිගන්නා බවයි.

මහා බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Sebastian Coe මීටර් 1500 ඉසව්වෙන් දෙවතාවක්ම ඔලිම්පික් ශූරයා බවට පත්වීමට සමත් වූ අතර 2015 වසරේ අගෝස්තු මස 19 වැනි දින ලෝක මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ලෙස ඔහු පත්වන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<