“2011 අවසන් මහා තරගය අපිට දිනන්න තිබ්බා” – මැතිව්ස්

6447

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙරට ක්‍රිකට් ක්‍රීඩා වංශ කතා පොතේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් ලෙස හඳුන්වා දිය හැක්කේ එම තරගාවලිය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම හට වසර ගණනාවකට අනතුරුව මුහුණ දීමට සිදු වූ අභියෝගාත්මක කාලපරිච්ඡේදය නිසාවෙනි.

>>ICC අවසන් තීන්දුව ලැබෙන තෙක් ඉන්දියාව නොඉවසිල්ලෙන්<<

මුම්බායි හී සුප්‍රසිද්ධ වන්කඩේ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවති ඉන්දු-ශ්‍රී ලංකා අවසන් මහා ගැටුම ආරම්භයේ සිටම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත්තේ කණ්ඩායම් දෙකම ලෝක කුසලානය තමන් නතු කරගැනීමේ දැඩි අධිෂ්ඨානයෙන් තරග බිමට පා තැබූ නිසාවෙනි.

කාසියේ වාසිය උරගා බැලිමේ දී සිදු වූ යම් අතපසුවීම්ක් සම්බන්ධයෙන් තවමත් බොහෝ දෙනා ප්‍රශ්න කරනුයේ එය කාටත් ප්‍රහේලිකාවක්ව ඇති බැවිනි. 

කාසියේ වාසිය ජය ගැනීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දුවට පහර දේ යැයි කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක එම අභියෝගය භාර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මහේල ජයවර්ධන දියත් කළ සුපිරි ඉනිමේ බලයෙන් සටන්කාමි ඉලක්කයක් ප්‍රතිවාදීන් හට ලබා දුන්නේ ජයග්‍රහණයේ වැඩි වාසි ශ්‍රී ලංකා කණ්ඩායම දෙසට නැඹුරු කරමිනි.

සචින් තෙන්ඩුල්කාර් සහ විරේන්ද්‍ර ෂෙවාග් අඩු ලකුණු සංඛ්‍යාවකට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලසිත් මාලිංග සමත් වූ නමුත් විරාත් කෝලි සහ ගෞතම් ගාම්භීර්ගේ සබඳතාව බිඳ දැමීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එතරම් පහසු වූයේ නැත. 

ඉන් අනතුරුව පිටියට පිවිසි නායක මහේන්ද්‍ර සිං දෝනි දියත් කළ ප්‍රවේගකාරී ඉනිම නතර කිරීමට ද කිසිවෙකුටත් නොහැකි විය. අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සිදු වූයේ ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන ජයග්‍රහණය ඉතාමත් උජාරුවෙන් සමරන අයුරු දෙස බලා සැනසීම පමණි. 

>>පාකිස්තාන යෞවනයෙකුට තාවකාලිකව ක්‍රිකට් අහිමි වෙයි<<

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටි දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයාගේ සේවය එදින අවසන් මහා තරගයේ දී ලබා ගැනීමට නොහැකිව ගියේ අවසන් පූර්ව තරගයේ දී ඔහු නොසිතූ ලෙස ආබාධයකට ගොදුරු වන නිසාවෙනි. 

ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා Youtube නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවක් සඳහා එක්වෙමින් සඳහන් කර සිටියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ගියත්, ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 20ත් 30ත් අතර ප්‍රමාණයක් එක් කිරීමට හැකි වූවා නම් තරගයේ තීරණය වෙනස් වීමට වැඩි ඉඩකඩක් පැවති බවයි.

“මම 2009 සහ 2010 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිවලට ක්‍රීඩා කරල තිබුනත් 2011 තරගාවලිය මගේ පළවෙනි එක්දින ලෝක කුසලාන අත්දැකීම. ඒ වගේම කණ්ඩායමක් විදියටත් අපිට 2011 තරගාවලිය වඩාත් සුවිශේෂී එකක් වුනේ අපිට හුරු පුරුදු ක්‍රීඩාංගණ සහ වටාපිටාවන්ගේ තරග පැවතිච්ච නිසා. අපි අවසන් මහා තරගය දක්වා ඉතාමත් හොඳින් සැලසුම් සහගතව තරග වැඳුණා. අවසන් මහා තරගයේදීත් අපි හොඳට ක්‍රීඩා කළා, නමුත් ඒ දරපු වෑයම ප්‍රමාණවත් වුනේ නැහැ අපිට ලෝක කුසලානය ආයිත් අපේ මව්බිමට අරගෙන එන්න. මම සෑහෙන්න ආසාවෙන් හිටියේ නවසීලන්ත තරගයෙන් පස්සේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්න. අවාසනාවකට වගේ මගේ දෛවය ඒකට හරස් වුනා.”

>>බංග්ලාදේශ කණ්ඩායමත් පුහුණුවීම් අරඹයි<<

“කකුලේ ඇති වුන ඒ ආබාධයෙන් පස්සේ සති දෙකක වගේ කාලයක් මට හරියට ඇවිදගන්නත් බැරි තරම් අමාරු වුනා. මට වෛද්‍යවරු කල්තියලම කිව්වා අවසන් මහා තරගයට ක්‍රීඩා කරන්න තියෙන සම්භාවිතාව ඉතාමත් අඩුයි කියලා. මම එවෙලෙම හිත හදාගත්තා. මම සෑහෙන්න සතුටු වුනා මට කණ්ඩායමත් එක්ක ඉන්දියාවට ගිහින් අඩුම තරමේ අවසන් තරගය සජීවීව දැකබලා ගන්නවත් පුළුවන් වෙයි කියලා. නමුත් ඒකත් සිද්ධ වුනේ නැහැ.”

“අපිට ලකුණු 320ක් වගේ ගහන්න පුළුවන් වුනා නම් මීට වඩා හොඳ තරගයක් දෙන්න තිබ්බා. ඉන්දීය පිතිකරණ ලැයිස්තුව කොච්චර ප්‍රබල වුනත් මම හිතන්නේ නැහැ ඒ වගේ ලකුණු සංඛ්‍යාවක් හඹාගෙන යන එක ලේසි කියලා. ඉන්දියාවේ තණතිලි නිකන් කාපට් අතුරපු පාරවල් වගේ. පිතිකරුවෙක් ලකුණු රැස් කරන්න පටන් ගත්තොත් ආයිත් ඔහුව නවත්වන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. වන්කඩේ ක්‍රීඩාංගණයත් එච්චර ලොකු නැහැ. තණතිල්ලත් පිතිකරුවන්ට සහය දක්වපු නිසා අපිට ඊට වඩා හොඳ ඉලක්කයක් ලබා දෙන්න තිබුණා.”

“අපි ලකුණු 20ක් 30ක් විතර පස්සෙන් හිටියේ. අපිට තරගය වෙනස් කරන්න අවස්ථාවන් කිහිපයක් උදා වුනා. නමුත් විරාත්, ගාම්භීර්, දෝනි එකතු වෙලා අපෙන් තරගය උඳුර ගත්තා. දිනය අවසානයේ දී අවිවාදයෙන්ම කියන්න පුළුවන් ඒක ඉතාමත් හොඳ තරගයක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<