” තනියම ඔහු අපිව පරාජය කළා.” – Virat Kohli

IPL 2021

165

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (25) පැවැත්වුණේ Royal Challengers Bangalore සහ Chennai Super Kings අතරයි. 

සුවිශේෂී තරගයක් වූ මෙම තරගයේ ජයග්‍රහණය හිමි වුනේ MS Dhoniගේ නායකත්වයෙන් යුත් Chennai Super Kings හටයි. තරගයේ වීරයා සම්මානය හිමි වූයේ තුන් ඉරියව් ක්‍රීඩක Ravindra Jadeja හටයි.

මෙම තරගයේ වීරයා බවට Ravindra Jadeja පත්වීමට හේතු වුනේ ඔහු තරගය තුල දැක්වූ සුවිශේෂී දක්ශතායි. තරගයේ පන්දුවාර 15ක් අවසානයේ දී කඩුලු 3ක් දැවී ලකුණු 117ක් ලබා සිටි Chennai Super Kings නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4කට ලකුණු 191ක් දක්වා ඔසවා තැබීමට Jadeja සමත් වුනා. 

මෙවර තරගාවලියේ දම් හිස්වැස්මට හිමිකම් කියන Royal Challengers Bangalore හි Harshal Patel ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කළ Jadeja එහි දී ලකුණු 37ක් වාර්තා කිරීමට සමත් වුනා. එය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ එක් පන්දුවාරයක් සඳහා වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව සම කළා. 

Jadeja පළමු ඉනිම අවසන් වන විට පන්දු 28ක දී ලකුණු 64ක් වාර්තා කර තිබුණා. 

තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් Royal Challengers Bangalore නායක Virat Kohli පවසා සිටියේ Jadeja තනිව තම කණ්ඩායම පරාජය කළ බවයි. 

Royal Challengers Bangalore ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට ද Jadeja සමත්වුනේ සිය නියමිත පන්දුවාර 4 අවසානයේ දී ලකුණු 14ක් පමණක් ලබා දෙමින්. එහි දී ඔහු Bangalore කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පු වූ AB De Villiers සහ Glenn Maxwell ද දවා ගැනීමට සමත් වුනා. 

“එක් ක්‍රීඩකයෙක් අපිව සම්පූර්ණයෙන්ම පරාජය කළා. අද ඔහුගේ දක්ෂතා අපි හැමෝම දැක්කා. Harshal Patel ඉතාමත් හොඳින් පන්දු යැවුවා. අපි ඔහු ගැන විශ්වාසය තිබ්බා. ඔහු Chennai Super Kings කණ්ඩායමේ ප්‍රබල කඩුලු 2ක් දවා ගත්තා. ඒත් අවසන් පන්දුවාරයේ දී Jadeja ඒ සියල්ල වෙනස් කළා.” 

තවත් ක්‍රිකට් පුවත්:

Ravindra Jadeja නැවත ඉන්දීය ජාතික කණ්ඩායමට පැමිණෙනු ඇති බවත්, එහි දී තමන් ඔහු හා එක්ව ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් Virat Kohli මෙහි දී පවසා සිටියා. ඉන්දීය කණ්ඩායම සහභාගී වන ජාත්‍යන්තර තරගාවලියක් තවත් මාස දෙකකට පසුව පැවැත්වීමට නියමිතයි. 

“Jadejaගේ දක්ෂතාවය අපි හැමෝම දැක්කා. මම ගොඩක් සතුටු වෙනවා ඔහු දක්ෂතා අතරට පැමිණීම ගැන. ඔහු පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් වගේම පන්දු රැකීමෙනුත් ඔහුගේ දක්ෂතාවය පෙන්වුවා. මාස දෙකකට පස්සේ අපි ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න නියමිතයි. මම බලාපොරොත්තු වෙනවා ඒ තරගාවලියට ඔහු එක්වේවි කියලා. ඔහු වගේ ඉහළ මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් එක්ක කණ්ඩායමේ ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔහු ඒ වගේ රිද්මයක ඉතාමත් විශ්වාසයෙන් ක්‍රීඩා කරද්දී කණ්ඩායමක් විදිහට ජයග්‍රහණය කරන්න ලොකු අවස්ථා නිර්මාණය වෙනවා” Kohli පවසා සිටියා. 

මෙම පරාජය මෙවර තරගාවලිය තුල Royal Challengers Bangalore කණ්ඩායමේ පළමු පරාජයයි. ඔවුන් මෙතෙක් සහභාගී වූ තරග 5න් 4ක් ම ජයග්‍රහණය කිරීමට සමත්ව සිටිනවා. සිය පළමු පරාජය පිළිබඳව අදහස් දක්වමින් Virat Kohli පවසා සිටියේ මෙය තම කණ්ඩායමට අඩුපාඩු වටහා ගෙන ඒවා නිවැරදි කර ගැනීමට හොඳ අවස්ථාවක් වන බවයි. 

පසුගිය වසරේ දී එතරම් සාර්ථක නොවූ Chennai Super Kings මෙවර තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුනා. ඔවුන් තරග 5ක් ක්‍රීඩා කරමින් ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන් තරග 4ක් ජයග්‍රහණය කරමින්. 

Chennai Super Kings සහභාගී වන මීළඟ තරගය Sunrises Hyderabad සමඟින් එළඹෙන 28 වැනිදා දිල්ලි හි Arun Jaitley ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. 

Royals Challengers Bangalore සිය මීළඟ තරගය සඳහා Delhi Capitals සමඟින් Ahamedabad හි Narendra Modi ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිතයි. ඒ එළඹෙන අප්‍රේල් 27 වැනිදායි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<