සියල්ලන් අභිබවා ගාල්ලේ පාසල් දෙකක් අවසන් මහා තරගයට  

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021  

256

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්  සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ අවසන් පූර්ව තරග දෙක අද (25) දින කොළඹ තර්ස්ටන් සහ බී. ආර්. සී. ක්‍රීඩාපිටි වලදී ක්‍රියාත්මක වුනු අතර එහිදී ආනන්ද විද්‍යාලය පරාජය කළ මහින්ද විද්‍යාලයත්, ධර්මාසෝක විද්‍යාලය පරාජය කළ දේවපතිරාජ විද්‍යාලයත් අවසන් මහා තරගයට පිවිසුනේ ගාලු පුරවරයේ පාසල් දෙකක අවසන් මහා තරගයක් දැකගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට උදා කරවමිනි.  

මහින්ද විද්‍යාලය සහ ආනන්ද විද්‍යාලය  

අර්ධ අවසන් පූර්ව තරග වලදී ආනන්ද විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය පිළිවෙලින් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පරාජය කරමින් මෙම අවසන් පූර්ව තරගයට පැමිණියා.  

පැවති අයහපත් කාලගුණික තත්වය නිසාවෙන් තර්ස්ටන් පිටියේ තණනිල්ල ප්‍රදේශය තෙත බරිත ස්වභාවයක් ඉසිලීම නිසා මෙම තරගයේ ආරම්භය ප්‍රමාද වුනා. ඒ නිසාවෙන් එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කළා.  

කාසියේ වාසිය දිනාගත් ආනන්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර මහින්ද විද්‍යාලය සිය නියමිත පන්දුවාර 23 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 196ක් රැස්කර ගත්තා. කවිඳු ලක්ෂාන් පන්දු 38ක් තුළ හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 60ක් වාර්තා කරගත්තේ අවසන් පන්දුවාර කිහිපය තුළ මහින්ද විද්‍යාලයේ ලකුණු ලබාගැනීමේ වේගය වැඩි කරමිනි. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සකස් කර දුන් නායක නවෝද් පරණවිතාන  හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 34ක දී ලකුණු 52ක් රැස්කර ගත්තා. ධනුජ ඉඳුවර ලකුණු 31යි. පන්දු යැවීමේ දී ටෙහාන් පෙරේරා ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න:   

පිළිතුරු ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාල මුල් පෙළ කඩුලු කිහිපයක් ඉක්මණින් බිඳ වැටීමත් සමඟම ආනන්ද විද්‍යාලයේ ලකුණු සටහන වර්ධනය වීම දුර්වල වුනු අතර මිනෙත් ප්‍රේමරත්නගේ ලකුණු 28 හැරෙන්නට වෙනත් කිසිඳු ආනන්ද පිතිකරුවෙකු හට සාර්ථක වීමට කවිඳු ලක්ෂාන් ඇතුළු මහින්ද විද්‍යාල පන්දු යවන්නෝ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. අවසානයේ දී ඔවුන්ට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණයි.   

මහින්ද විද්‍යාලය – 196/7 (23): කවිඳු ලක්ෂාන් 60, නවෝද් පරණවිතාන 52, ධනුජ ඉඳුවර 31, ටෙහාන් පෙරේරා 3/32.  

ආනන්ද විද්‍යාලය – 124 (20.4): මිනෙත් ප්‍රේමරත්න 28, සවිරු බණ්ඩාර 26, කවිඳු ලක්ෂාන් 5/18.   

මහින්ද විද්‍යාලයට ලකුණු 72ක ජයක්  

දේවපතිරාජ විද්‍යාලය සහ ධර්මාසෝක විද්‍යාලය  

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ධර්මාසෝක විද්‍යාල නායක ලොහාන් ද සොයිසා පළමුව පන්දුවට පහර දීම වෙනුවෙන් දේවපතිරාජ විද්‍යාලයට අවස්ථාව ලබා දුන්නා. අර්ධ අවසන් පූර්ව තරග වලදී දේවපතිරාජ විද්‍යාලය සහ ධර්මාසෝක විද්‍යාලය පිළිවෙලින් ඉසිපතන සහ බම්බලපිටිය සාන්ත පීතර යන විද්‍යාල පරාජය කරමින් මෙම අවසන් පූර්ව තරගයට පැමිණියා.   

එහිදී දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් සුපිරි පිතිකරණයක් දියත් කළ ජීවක ශෂීන් අවසන් මොහොත දක්වා කඩුල්ලේ රැඳී සිටිමින් උත්සාහවන්ත පිතිකරණයක නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙස දේවපතිරාජ විද්‍යාලයට මෙම තරගය පහසුවෙන්ම ජයගැනීමට හැකියාව ලැබුනා. ඔහු සිය ඉනිම ආරම්භය ස්ථාවර කරගැනීම වෙනුවෙන් සෙමින් සීරුවේ ලකුණු ලබාගනිමින් අවසානය දක්වා එක් අන්තයක් රැකගෙන පන්දුවට පහර දුන් අතර ඔවුන්ගේ අවසන් පිතිකරු චමිඳු සඳරුවන් පන්දු 26කට මුහුණ දෙමින් සිය අන්තය ආරක්ෂා කරගෙන ජීවක හට පන්දුවට පහර දීමට අවස්ථාව ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස 10 වන කඩුල්ල සඳහා ලකුණු 47ක තීරණාත්මක සබඳතාවයක් ගොඩනැංවීමට අවස්ථාව ලැබුනු අතර එය මෙම තරගයේ අවසන් ප්‍රතිඵලය සඳහා විශාල බලපෑමක් එල්ල කළා.  

ඔවුන්ගේ පළමු කඩුල්ල ඉක්මණින් බිඳ වැටුනු නමුත් මැදපෙළ පිතිකරුවන් යම් මට්ටමකින් සාර්ථක වෙමින් ලකුණු අතරට පැමිණෙද්දී ජීවක පන්දු 121ක් තුළ හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කරමින් අගනා ලකුණු 103ක් වාර්තා කරගෙන දේවපතිරාජ ඉනිම ලකුණු 200ක් දක්වා ඔසවා තැබුවා. පන්දු යැවීමේ දී ඉමන්ත රාජපක්ෂ සහ ලොහාන් ද සොයිසා අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියා.  

ධර්මාසෝක විද්‍යාල නායක ලොහාන් අරෝෂණ නොදැවී ලකුණු 67*ක් රැස්කර ගනිමින් අවසානය දක්වා පිතිකරණයේ නිරත වුවත් ඔහුගේ සවිය සඳහා අනෙක් අන්තයෙන් නිසි සහයක් නොලැබී යාම නිසා ධර්මාසෝක විද්‍යාලයට මෙම තරගය පරාජයට පත්වීමට සිදුවුනා. පන්දු 86ක දී වාර්තා වුනු ලොහාන්ගේ එම නොදැවුනු ඉනිම සඳහා හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වුනා. දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් ඉරුෂික තිමිර සහ පිත්තෙන් දස්කම් දැක්වූ 17 හැවිරිදි ජීවක ශෂීන් කඩුලු 3ක බැඟින් දවා ගනිමින් දස්කම් දක්වන විට පවන් සංදේශ් කඩුලු 2ක් දවා ගත්තා.  

දේවපතිරාජ විද්‍යාලය – 200 (48.3): ජීවක ශෂීන් 103, පවන් සංදේශ් 23, ලොහාන් ද සොයිසා 2/25, ඉමන්ත රාජපක්ෂ 2/38.  

ධර්මාසෝක විද්‍යාලය – 160 (39): ලොහාන් ද සොයිසා 67*, ඉරුෂික තිමිර 3/19, ජීවක ශෂීන් 3/21, පවන් සංදේශ් 2/39.  

දේවපතිරාජ විද්‍යාලයට ලකුණු 40ක ජයක්  

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන Tier B කොටසේ අවසන් මහා තරගය මැයි මස 02 වන ඉරිදා දිනයේ දී කොළඹ NCC පිටියේ දී පැවැත්වෙනවා. තරගාවලියේ සියලුම තොරතුරු රැගෙන ඒමට ThePapare.com සූදානමින්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<