වෙන්දේසි නොවීම ගැන ඉන්දීය ජ්‍යේෂ්ඨයෙක් කනස්සල්ලෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

11382

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය නිමා වුවත් එහි උණුසුම තවමත් පහව ගොස් නැහැ. පසුගිය දින කීපය පුරාවටම මේ පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය රැසක් විශාල කතාබහක් ඇති කර තිබුණා.

මෙවර තරගාවලියේ දී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අලෙවි නොවීම ද කැපී පෙනන කරුණක් වූ අතර ඒ අතරින් Amit Mishra පිළිබඳවත් බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.

මෙවර වෙන්දේසියේ දී Delhi Capitals ක්‍රීඩකයන් 23 දෙනෙකු මිල දී ගෙන තිබුණා. එයට David Warner, Mitchell Marsh, Shardul Thakur, Kuldeep Yadav සහ Mustafizur Rahman ඇතුළත් වුනා. වෙන්දේසියට පෙර ඔවුන්ගේ ක්‍රීඩකයන් වූ Rishabh Pant, Axar Patel, Prithvi Shaw සහ Anrich Nortje සිය සංචිතයේ රඳවා ගැනීමට ඔවුන් තීරණය කර තිබුණා.

David Warner මීට පෙර ද Delhi Capitals නියෝජනය කළ අතර ඔහු වසර 9කට පසු නැවත එම කණ්ඩායමට පැමිණීම විශේෂත්වයක්. 2015 වසරේ සිට Delhi Capitals කණ්ඩායමේ සාමාජිකයෙකු වූ Amit Mishra මෙවර වෙන්දේසියේ දී අලෙවි වූයේ නැහැ.

ඔහු 2008 වසරේ සිට 2010 දක්වාත් 2015 වසරේ සිය පසුගිය 2015 වසර දක්වාත් Delhi Capitals කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. ඔහු එහි දී වසර ගණනාවක්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රමුඛතම දඟපන්දු යවන්නන්ගෙන් කෙනෙකු බවටත් පත්වුනා.

මේ 39 හැවිරිදි පා දඟපන්දු යවන Amit Mishra දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ තුන්වැනි වැඩිම කඩුලු ලාභියා ද වනවා. ඔහු තරග 154ක දී කඩුලු 166ක් ලබාගෙන තිබෙනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අලෙවි නොවීමෙන් අනතුරුව Amit Mishra Twitter පණිවිඩයක් තබමින් පවසා සිටියේ තමන් තවමත් ක්‍රිකට් ක්‍රීඩා කර අවසන් නොමැති බවයි.

කණ්ඩායම සඳහා මම කරපු සේවාවන් පිළිබඳ අගය කිරීම සහ ඔබේ කාරුණික වචන ගැන මම Parth Jindalට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මම නිහතමානීව සතුටු වෙනවා ඒ ගැන! නමුත් මම තවමත් ක්‍රිකට් ක්‍රීඩා කරලා අවසන් වෙලා නැහැ. Delhi Capitals වෙනුවෙන් මම ක්‍රීඩා කරන්න බලාගෙන ඉන්නවා. ඒ ඔවුන්ට මාව අවශ්‍ය නම් විතරයි. මම සෑම වෙලාවකම ඔවුන් එක්ක ඉන්නවා”, Amit Mishra පවසා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Amit Mishraට අමතරව Suresh Raina, Ishant Sharma මෙන්ම Piyush Chawla වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ද අලෙවි වී තිබුණේ නැහැ.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී Delhi Capitals අවසන් තරගය දක්වා පැමිණිය ද එම තරගාවලියේ දී Amit Mishra එකඳු තරගයක් හෝ ක්‍රීඩා කර තිබුණේ නැහැ.

Amit Mishra අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ ඉන්දීය දේශීය තරගාවලියට වන අතර එතැන් සිට ඔහුගේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දීය ප්‍රිමියර් ලීගයට සීමා වී තිබුණා. Amit Mishra ඉන්දීය ජාතික කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 22ක්, එක්දින තරග 36ක් මෙන්ම විස්සයි විස්ස තරග 10කට ක්‍රීඩා කර තිබෙනවා. ඔහු අවසන් වරට ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කර තිබුණේ 2017 වසරේ එංගලන්තය සමගින් පැවති විස්සයි විස්ස තරගයක දීයි.

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<