ක්‍රිකට් කණ්ඩායම් 6ක් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

165
Cricket first sport to announce qualifiers for Commonwealth Games Sinhala

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල රටවල් 72ක සහභාගිත්වයෙන් 2022 වසරේ ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් හිදී පැවැත්වීමට නියමිතයි.

එහි දී කාන්තා ක්‍රිකට් ඉසව්ව සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වන අතර ඉන් කණ්ඩායම් 6ක් නිතරගයෙන් මේ ඉසව්ව සඳහා තේරී පත්ව තිබෙනවා. ඒ 2021 අප්‍රේල් 1 වැනිදාට තිබූ ICC කාන්තා ක්‍රිකට් විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.

කණ්ඩායම් 8ක් සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන මේ තරග ඉසව්වේ දී සත්කාරක එංගලන්තය මේ තරගාවලිය සඳහා නිසැක වශයෙන්ම සුදුසුකම් ලබා ගන්නා අතර අනෙක් ස්ථාන 5 ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සඳහා හිමිව තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (26) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථාන 6 අතර සිටින නමුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉසව් ඇතුළු බොහෝමයක් ඉසව් සඳහා කොදෙව්වන් වෙන වෙනම රටවල් ලෙස තරග වදිනු ලබන නිසාවෙන් ඒ සඳහා ඔවුන්ට වෙනම තරගාවලියක් පැවැත්වෙනවා.

ඒ අනුව කොදෙව් දූපත් සමූහයේ තිබෙන රටවල් (Jamaica, Barbados, Trinidad and Tobago, Antigua and Barbuda සහ Guyana) වෙන වෙනම තරග කොට එහි ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්‍රිකට් ඉසව්ව සඳහා සහභාගී වීමට හැකියාව ලැබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම මේ තරග ඉසව්ව සඳහා තරග වදිනු ලබන අනෙක් අවසන් කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව (ශ්‍රේණිගත කිරීම්වල 8), බංග්ලාදේශය (ශ්‍රේණිගත කිරීම්වල 9) සහ අයර්ලන්තය (ශ්‍රේණිගත කිරීම්වල 10) ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන රටවල් රැසක කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර වෙනම ක්‍රිකට් තරගාවලියක් පවත්වනු ලබන අතර එහි ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ද 2022 වසරේ දී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් (කාන්තා) ඉසව්ව නියෝජනය කිරීමට වරම් දිනා ගන්නවා. එම සුදුසුකම් ලබාගැනීමේ තරග සියල්ලම ලබන වසරේ ජනවාරි 31 වැනිදාට පෙර පවත්වා අවසන් කළ යුතු බව ද සඳහන් වෙනවා.

මීට පෙර 1998 වසරේ දී ද පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඉසව් අතරට පිරිමි එක්දින ක්‍රිකට් තරග ඇතුළත් කර තිබුණු අතර එහි රන් පදක්කම දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වූයේ ඕස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජයට පත් කරමිනි. 

එමෙන්ම එම ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම් වෙනුවෙන් පැවති තරගයක දී නවසිලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව ලකුණු 51කින් පරාජයට පත්වෙමින් සිව්වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<