ලොව හොඳම T20 පිතිකරුවන් දසදෙනා අතරට ඉන්දියානුවන් දෙදෙනෙක්

950

නිමාව දුටු ඉන්දු – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියෙන් අනතුරුව එම තරග ආකෘතියේ ශ්‍රේණිගත කිරීම් වල වෙනස්කම් රැසක් සිදුව තිබෙන්නේ ප්‍රබල ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකුට ලොව හොඳම T20 පිතිකරුවන් දසදෙනා අතරට පැමිණීමේ අවස්ථාව නිර්මාණය කර දෙමිනි. 

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ නායක Virat Kohli වර්ගීකරණයන්හි 7වන ස්ථානය දක්වා සිය උසස් වීම හිමිකර ගන්නා විට ආරම්භක පිතිකරු භූමිකාව මෙන්ම කඩුලු රැකීමේ වගකීම ඉටුකරන K. L. Rahul තමන්ට හිමිව තිබූ 3වන ස්ථානය ඒ අයුරින්ම රැකගැනීමට සමත්ව තිබේ. ශ්‍රේණිගත කිරීම්හි පළමු සහ දෙවන ස්ථානයන් තම නමින් වෙන්කරවා ගැනීමට පිළිවෙලින් එංගලන්ත කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු David Malan සහ පාකිස්තාන නියමු Babar Azam හට හැකි වී තිබේ. 

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රාහී සටහනකින් අවසන් කළ ඉන්දීය කණ්ඩායම, සාර්ථක ලකුණු සංඛ්‍යාවන් කරා රැගෙන යාමේ දී නායක Virat Kholi කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට සමත්කම් දැක්විය. අවසන් තරග ද්විත්වයේ දී පිළිවෙලින් ලකුණු 40ක් සහ 80ක් රැස්කර ගනිමින් පෙන්වූ දක්ෂතා නිසාවෙන් හොඳම පිතිකරුවන් දසදෙනා අතරට ඇතුළත් වීමේ වරම Virat Kholi හට හිමි විය. 

තවද පන්දු යැවීම්, තුන් ඉරියව් සහ පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ත්‍රිත්වයෙහිම පළමු ස්ථානයන් 10 අතරට Kohli සහ Rahul හැරුනු විට එකඳු ඉන්දීය ක්‍රීඩකයෙකුට හෝ ඇතුළත් වීමට අපොහොසත් වීම මෙහිදී කාගෙත් අවධානයට බඳුන් විය. කෙසේනමුත් නායක Virat Kohli මේ වන විට තරග ආකෘතීන් තුනේම පිතිකරණ අංශයේ පළමු ස්ථාන 10 අතරට සිය නාමය ඇතුළත් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයන්හි 2වන ස්ථානයත්, එක්දින තරග ආකෘතියේ ලොව දැනට සිටින සුපිරිතම පිතිකරුවා වශයෙනුත් සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වීමට ඔහුට හැකිව තිබේ. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ඉන්දු – ඕස්ට්‍රේලියා තරගාවලියෙන් අනතුරුව නවසීලන්තයේ දී ක්‍රියාත්මක වූ පාකිස්තානයට එරෙහි විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට සත්කාරකයින් සමත් වූයේ ආරම්භක පිතිකරු Tim Seifert සහ වේගපන්දු යවන ක්‍රීඩක Tim Southee හට වර්ගීකරණ ලැයිස්තුවේ ස්ථාන කිහිපයකින් ඉදිරියට උසස් වීම් හිමිකර දෙමිනි. 

Seifert පිතිකරුවෙකු වශයෙන් ඔහුගේ ක්‍රීඩා දිවියේ ළඟා කරගත් ඉහළම ජයග්‍රහණය වාර්තා කර තිබෙන්නේ ශ්‍රේණිගත කිරීම්හි 9වන ස්ථානය දක්වා ඉදිරියට එමිනි. ඔහු තරගාවලිය පුරාවට ලකුණු 176ක් වාර්තා කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය. Tim Southee අවසන් තරගයේ දී ප්‍රතිවාදී කඩුලු 6ක් දවාලමින් පෑ දක්ෂතාව අගය කරමින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 13 වන ස්ථානය දක්වා ඔසවා තැබීමට කටයුතු කර තිබේ. 

ඔවුන්ට අමතර Devon Conway ස්ථාන 10ක් ඉදිරියට එමින් 62වන ස්ථානයත්, Glenn Philips 72වන ස්ථානය දක්වාත් පිතිකරු වර්ගීකරණයන්හි ඉදිරියට පැමිණ තිබේ. පාකිස්තාන වේග පන්දු යවන්නන් අතුරින් Faheem Ashraf (13වන ස්ථානය), Shaheed Afridi (16වන ස්ථානය) සහ Hariss Rauf (67වන ස්ථානය) උසස් වීම් ලබා ගැනීමට සමත් වී ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<