සුපිරි පළාත් සටනෙන් වැඩ පෙන්වූ සුපිරි සංචිතය

1111

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය වන සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය දින 8ක් පුරාවට මහනුවර දී හා දඹුල්ලේ දී පැවැත්වුණු අතර එහි දී ගාල්ල හා කොළඹ කණ්ඩායම් අතර පැවැත්වුණු අවසන් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එම කණ්ඩායම් දෙකටම සම ශූරතාවය ලබා දීමට සිදු විය.

තිරිමාන්නගේ ශතක ඉනිම වැසි දියේ සැඟවෙයි

ගාල්ල කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්නගේ ශතකයෙන් අන්තර් පළාත් සුපර් 4…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෑම වසරක් පාසාම මේ ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන නමුත් මේ වතාවේ දී මේ තරගාවලිය දෙසට වැඩි අවධානයක් යොමු වූයේ එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට මේ තරගාවලියේ දී ක්‍රීඩකයින් දක්වන දස්කම් ඉතාමත් වැදගත් විය.

ඒ අනුව ලෝක කුසලානයට තවත් දින 48ක් වැනි සුළු කාලයක් ඉතිරිව තිබිය දී සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී ඒ ඒ ක්‍රීඩකයින් දැක්වූ දස්කම් අනුව ThePapare.com කණ්ඩායම විසින් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම පහත පරිදි තෝරාගනු ලැබීය.

ආරම්භක පිතිකරුවන්

මේ තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් 8 දෙනෙකු ක්‍රීඩා කළ අතර ඒ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් හා මෑතක දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඒ අතර විය. නමුත් ඒ අතරින් වැඩි දස්කම් පෑමට සමත් වූයේ පිතිකරුවන් කිහිප දෙනෙක් පමණි.

ලහිරු තිරිමාන්න (ගාල්ල කණ්ඩායම)

වමතින් පිතිකරණයේ නිරත වන තිරිමාන්න අවසන් මහා තරගයේ දී ලබා ගත් සුපිරි ශතකය නිසා තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය දක්වා පැමිණීමට ඔහුට අවස්ථාව උදා විය. ඊට අමතරව දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ද ලකුණු 82ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට තිරිමාන්න සමත් විය.

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී 53.25ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් හා 81.92ක දල ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ලකුණු රැස්කරගත් තිරිමාන්න ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා සංචිතයේ දොරට තට්ටු කරමින් සිටින්නේ 2017 වසරේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ එක්දින ක්‍රිකට් තරගාවලියට පසුව නැවත වතාවක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ස්ථානය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.

තිරිමාන්න 2015 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කර නොමැති අතර මේ තරගාවලියේ දී ඔහු දැක්වූ දස්කම් මත නැවත වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට පිවිසීමට ඔහුට වැඩි අවස්ථාවක් තිබේ.

දිමුත් කරුණාරත්න (මහනුවර කණ්ඩායම)

මහනුවර කණ්ඩායමේ කණ්ඩායම් නායකයා වන්නේ දිමුත් කරුණාරත්නයි. දිමුත් තරගාවලියේ මූලික වටයේ පැවති තරගවල දී ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසුණු නමුත් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී ලකුණු නොලබාම දැවී ගිය ද තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දිනා ගැනීමට ඔහුට හැකි විය. එහි දී ඔහු ලකුණු 165ක් ලබා ගත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 55ක් වැනි අගයක පවත්වා ගෙනයි.

මේ තරගාවලියේ එක් අර්ධ ශතකයක් පමණක් වාර්තා කර ගැනීමට කරුණාරත්න සමත් වූයේ 90.65ක් වැනි ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි. ඒ අතර ඔහු ලබාගත් වැඩිම ලකුණ වූයේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පන්දු 74ක දී ලබා ගත් ලකුණු 86යි.  

දුලිප් මෙන්ඩිස්ගේ ඉල ඇදුණු පොලිස් නිලධාරියාගේ ප්‍රශ්නය

හැත්තෑව දශකය තෙක්ම සාම්ප්‍රදායික ටෙස්ට් තරගවලට පමණක් ඉඩ වෙන්ව තිබුණු ක්‍රිකට්…

එළඹෙන ලෝක කුසලානයට තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ක්‍රීඩකයින් 4 දෙනෙක් අතර දෝලනය වෙමින් පවතින අතර ඒ අතර දිමුත්ගේ නම ද ඉදිරියෙන්ම තිබේ. නමුත් ඔහුගේ නායකත්වය යටතේ තරග වැදුණු මහනුවර කණ්ඩායමට හිමි වූයේ තරගාවලියේ 4 වැනි ස්ථානයයි.

මෙහි දී තරග වැදුණු අනෙකුත් ආරම්භක පිතිකරුවන් අතර සඳුන් වීරක්කොඩි, අවිශ්ක ප්‍රනාන්දු හා සධීර සමරවික්‍රම වැනි තරුණ ක්‍රීඩකයින් ද සැලකිය යුතු මට්ටමේ දස්කම් අතරට පැමිණි නමුත් ජාත්‍යන්තර තලයේ අත්දැකීම් බහුල උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක යන පිතිකරුවන්ට සාපේක්ෂව ලකුණු ලබා ගැනීමට ඔවුන් සමත් විය.

මැදපෙළේ සවිය සඳහා

ධනංජය ද සිල්වා (ගාල්ල කණ්ඩායම)

ධනංජය ද සිල්වා මේ ස්ථානය සඳහා පැමිණියේ සංගීත් කුරේ අභිබවා යමිනි. මහනුවර කණ්ඩායම නියෝජනය කළ සංගීත් කුරේ තරගාවලියේ පළමු තරගයට සහභාගී නොවූ අතර ධනංජය ද සිල්වා තරග සියල්ලම සඳහා සහභාගී වෙමින් ලකුණු 160ක් ලබා ගත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 40ක් වැනි අගයක පවත්වා ගෙනයි. සංගීත් කුරේ තරග 3කට පමණක් සහභාගී  වූ නමුත් ඔහු තරගාවලිය අවසානයේ සිව්වැනි වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලිය අවසන් කළේ 57.33ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සහිතව ලකුණු 172ක් ලබා ගෙනයි.

ධනංජයට සංගීත් අභිබවා ඉදිරියට පැමිණීමට විශාල සාධකයක් වූයේ ඔහුගේ තිබෙන තුන් ඉරියව් දස්කම් නිසාවෙනි. එහි දී ධනංජය දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වීය.

භානුක රාජපක්ෂ (දඹුල්ල කණ්ඩායම)

අංක 4 පිතිකරණ ස්ථානය සඳහා සුදුසු ප්‍රහාරාත්මක වමත් පිතිකරුවෙක් ලෙස සැලකිය හැකි භානුක රාජපක්ෂ අනාගත ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ස්ථාවර කිරීමට හැකි ප්‍රබල ක්‍රීඩකයෙක් ලෙස හඳුන්වා දීමට හැකිය.

භානුක සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය අවසානයේ දී 44ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් සහිතව ලකුණු 176ක් ලබා ගනිමින් තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත් විය. ඔහුගේ වැඩිම ලකුණු ලබාගැනීම ලෙස තෙවැනි ස්ථානය තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 87ක දී ලබා ගත් ලකුණු 95 දත්තවල සටහන් වේ.

සංචිතගේ ශතකය රාජකීය අවසානයක් ගෙනෙයි!

අද (11) දිනය පුරාවට දැක්වූ සුපිරි පිතිකරණ දක්ෂතා නිසා 2018/19 සිංගර් වයස අවුරුදු 19න් පහළ දෙදින…

94.62ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් පන්දුවට පහර දුන් භානුක ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ක්‍රීඩා කර ඇති නමුත් කිසිදු ආකෘතියක් යටතේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට භානුක හට තවමත් අවස්ථාව ලැබී නොමැත.

ඇන්ජලෝ මැතිව්ස් (දඹුල්ල කණ්ඩායම)

ශ්‍රී ලංකා කණ්ඩායම තුල මේ වන විට සිටින දක්ෂතම පිතිකරුවා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙක් වන මැතිව්ස් තරගාවලියේ ආරම්භයේ දී එක් ලකුණකට දැවී ගියත් තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ප්‍රබල පන්දු යවන්නෝ රැසක් සිටි ගාල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 78ක් රැස්කර ගනිමින් නැවත වතාවක් සිය සුපුරුදු රිද්මයට පැමිණි මැතිව්ස් තෙවැනි ස්ථානය තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගයේ දී ශතකයක් ලබා ගන්නා ලදි. අවසානයේ තරග 4කට ක්‍රීඩා කළ ඔහු 56.75ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් හා 86.97ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ක්‍රීඩා කළේය.

මැතිව්ස් මේ තරගාවලිය පුරාවට පන්දු යැවීමේ සිදු නොකළේ ඔහුගේ ආබාධ තත්වය නැවත වතාවක් උත්සන්න වීමට තිබෙන ඉඩකඩ නිසාවෙනි. නමුත් පිතිකරුවෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස්ගේ භූමිකාව ශ්‍රී ලංකාවට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී විශාල සවියක් වනු නිසැකය.

මිනෝද් භානුක – කඩුලු රකින්නා (ගාල්ල කණ්ඩායම)

තවමත් ජාත්‍යන්තර වරම් ලබාගෙන නොමැති මෙම දක්ෂ පිතිකරුවා කඩුලු රකින්නෙක් ලෙස මෙන්ම පිතිකරුවෙක් ලෙස ද ඉතාමත් සාර්ථක ක්‍රීඩකයෙක් ලෙස සැලකීමට පුළුවනි. සඳුන් වීරක්කොඩි මේ තරගාවලියේ දී කඩුල්ල පිටුපස ක්‍රීඩා නොකළ අතර මිනෝද් දවා ගැනීම් 7ක් සඳහා කඩුල්ල පිටුපස සිට දායකත්වය ලබා දුන්නේ නිරෝෂන් දික්වැල්ලට පමණක් (දවා ගැනීම් 8) කඩුලු රැකීමෙන් දෙවැනි වෙමිනි. පිතිකරුවෙක් ලෙස සාර්ථක වූ අනෙක් ක්‍රීඩකයා වන සධීර සමරවික්‍රම මේ තරගාවලියේ දී දවා ගැනීම් 6කට දායක වීමට සමත් විය.

තවමත් වයස අවුරුදු 23ක් වන මිනෝද් ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වුණු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වුණු නමුත් අවසන් ක්‍රීඩකයින් 11 දෙනා අතරට පැමිණීමට නොහැකි වූයේ කඩුලු රකින පිතිකරුවන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා සංචිතය තුල ක්‍රීඩා කළ නිසාවෙනි.

තුන් ඉරියව් ක්‍රීඩකයින්

ජීවන් මෙන්ඩිස් (දඹුල්ල කණ්ඩායම)

අත්දැකීම් බහුල පා දඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන ජීවන් මෙන්ඩිස් සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය අවසානයේ පිතිකරුවෙක් ලෙස ලකුණු 83ක් ලබා ගන්නා විට පන්දු යැවීමෙන් කඩුලු 6ක් දවා ගත්තේ තරග 3කට පමණක් ක්‍රීඩා කරමිනි. ඒ දස්කම් අතර කොළඹ කණ්ඩායමට එරෙහිව දවා ගත් කඩුලු 4 හා තරගාවලිය අවසානයේ මහනුවර කණ්ඩායමට එරෙහිව ලබා ගත් ලකුණු 33 කැපී පෙනුණි.

වනිඳු හසරංග ද සිල්වා ද අංක 7 ස්ථානයේ ක්‍රීඩා කිරීමට උචිත ක්‍රීඩකයෙක් වුවත් ජීවන්ගේ පා දඟපන්දුව වනිඳුගේ පන්දු යැවීම අභිබවා ඉදිරියට පැමිණීම නිසා ජීවන් මෙන්ඩිස් හට මේ කණ්ඩායම තුල ඉඩකඩක් වෙන්කර දීමට සමත් විය.

මෙන්ඩිස් 2015 වසරේ පවතී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැති අතර සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ දී දැක්වූ දස්කම් හා ඔහු සතු අත්දැකීම් නිසා එළඹෙන ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතයේ අසුනක් දිනා ගැනීම මෙන්ඩිස් හට අපහසු නොවනු ඇත.

තිසර පෙරේරා (මහනුවර කණ්ඩායම)

මේ වන විට ශ්‍රී ලංකාව සතුව සිටින අත්දැකීම් බහුලතම තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන තිසර පෙරේරා මේ සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය නිමා කරන ලද්දේ කඩුලු දවා ගැනීමෙන් ලසිත් මාලිංගට පමණක් දෙවැනි වෙමිනි.

තිසර සමඟ මේ ස්ථානය සඳහා තරග වැදුණු ඉසුරු උදාන හා චාමික කරුණාරත්න පිතිකරුවන් ලෙස හා පන්දු යවන්නන් ලෙස සාර්ථක වූ නමුත් පන්දුවට පහර දීමේ වේගය සලකා බැලූ විට තිසර 131.25ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙන ඉදිරියෙන් සිටීම මේ ස්ථානයට ඔහුව තෝරාගැනීමට ප්‍රබල සාධකයක් විය. ඉසුරු හා චාමිකගේ පිතිකරණයේ වේගය පිළිවෙළින් 100ක් හා 110.71 විය.

පන්දු යවන්නෝ

අකිල දනංජය (කොළඹ කණ්ඩායම)‍

මෙම තරගාවලියේ කඩුලු දවා ගත් දඟපන්දු යවන්නන් අතර ජීවන් මෙන්ඩිස්ට පසුව ඉදිරියෙන් සිටින්නේ අකිල දනංජයයයි. අකිල තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි තැන දිනා ගත්තේ කඩුලු 5ක් දවා ගනිමිනි. කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම දඟපන්දු යවන්නා වන්නේ අකිල දනංජය නිසා මොහු ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනු නිසැකය.

සුරංග ලක්මාල් (කොළඹ කණ්ඩායම)

ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් උපනායකයා වන ලක්මාල් මේ තරගාවලිය අවසන් කළේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 6 වැනි ස්ථානය දිනා ගෙනයි. ඔහු සමඟ කරට කර සටන් වදින කසුන් රාජිත ලක්මාල්ට වඩා කඩුලු 2ක් වැඩිපුර දවා ගෙන ඉදිරියෙන් සිටියේ ලක්මාල් හට එක් තරගයක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ නිසාවෙනි. නමුත් ලක්මාල් හා කසුන් රාජිතගේ (31) කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය සලකා බැලූ විට ලක්මාල් (21) ඉදිරියෙන් සිටී.

ලසිත් මාලිංග – නායක (ගාල්ල කණ්ඩායම)

තරගාවලිය ආරම්භයේ දීම කඩුලු 7ක් දවා ගනිමින් සුපිරි ආරම්භයක් ලබා ගැනීමට ලසිත් මාලිංග සමත් විය. එය ලසිත් මාලිංගව ලෝක කුසලාන සංචිතයට තෝරාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට ලබා දුන් ප්‍රබල තුරුම්පුවකි. කෙසේ නමුත් ලසිත් මාලිංග කඩුලු 8ක් දවා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ අවසන් මහා තරගයේ දී පන්දු නොයවමිනි.

>>  ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<