බටහිර ආසියානු බේස්බෝල් ජය ශ්‍රී ලංකාවට

473
Sri-Lanka-Baseball-team

ශ්‍රී ලංකාව පකිස්තානය පරාජය කරමින් 13 වන බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවය දිනා ගැනීමට ඊයේ (01) සමත් විය. තරගාවලිය පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විය.

හසිනි සහ රංග බීච් වොලිබෝල් කණ්ඩායම සමඟ තායිලන්තයට

ආසියානු වොලිබෝල් සම්මේලනය මඟින් ප්‍රථම වරට පවත්වනු ලබන වයස අවුරුදු 21න් පහළ ආසියානු බීච් වොලිබෝල් තරගාවලිය, එළඹෙන මාර්තු මස 02 වැනිදා සිට මාර්තු 04 වැනිදා දක්වා තායිලන්තයේ “රොසිට්” නුවර දී පැවැත්වේ…

මෙම ශූරතාවය දිනා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාව 2017 සැප්තැම්බර් මාසයේ දී චීන තායිපේ නුවර දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන බේස්බෝල් ශූරතා තරගාවලියට සහභාගී වීමට සුදුසුකම් ලැබීය. මෙම තරගාවලියට ලෝක බේස්බෝල් ශ්‍රේණිගත කිරීම් වල ප්‍රථම ස්ථානයේ රැඳී සිටින ජපානය, තෙවන ස්ථානයේ සිටින කොරියාව, සිව්වැනි ස්ථානයේ සිටින චීන තායිපේ  සහ 18 වන ස්ථානයේ සිටින චීනය ඇතුළු ලොව විශිෂ්ටතම කණ්ඩායම් සහභාගි වීමට නියමිතය. ශ්‍රී ලංකාව විසින් පරාජයට පත් කළ පකිස්තානය මෙම ශ්‍රේණිගත කිරීම් වල 24 වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාවට හිමිව තිබෙන්නේ එහි 52 වන ස්ථානයයි.

අවසන් පූර්ව තරගවල දී පකිස්තානය විසින් ලකුණු 11-0ක් ලෙස ඉරානය ද, ශ්‍රී ලංකාව විසින් ලකුණු 11-0ක් ලෙස නේපාලය ද පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 4-2ක් ලෙස ප්‍රබල පකිස්තානු කණ්ඩායම පරදා ශූරතාවය දිනා ගන්නා ලදි. ඒ අනුව ශ්‍රී ලංකාවට රන් පදක්කම ද පකිස්තානයට රිදී පදක්කම ද හිමි විය.  ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉරේෂ් කෝසල, සඳුන් මදුසංක, සමීර රත්නායක සහ අසංක ලක්මාල් එක ලකුණ බැගින් ලබා ගත්හ. සුමයිර් සාමාර් සහ වසීම් අලී එක ලකුණ බගින් පකිස්තානු ලකුණු පුවරුවට දායද කළහ.

ලෝකඩ පදක්කම සඳහා තරග කලේ ඉරානය හා නේපාලයයි. ලකුණු 10-6ක් ලෙස නේපාලය පරාජය කල ඉරානය ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදි. ඉරානය වෙනුවෙන් නිමා, ඩාවුඩ් සහ ඉමාන් ලකුණු 2 බැගින් ලබා ගත්හ. මිට අමතරව අලි ගොදොර්ගි, මජිඩ්, මොජ්ටබා සහ යාසින් එක් ලකුණ බැගින් සිය ලකුණු පුවරුවට එක් කරන ලදී. නේපාලය වෙනුවෙන් අචිට් කාර්කි, සුක්‍රීම් තාපා, දිනේෂ් සිං, මිලාන් තාපා, මෑන් කුමාර් සහ බිනෝද් කොයිරාල ලකුණු ලබා ගන්නා ලදි.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, පකිස්තානය, නේපාලය, ඉරානය, ඉරාකය හා ඉන්දියාව සහභාගී වීමට තිබුණ ද,  අවසන් මොහොතේ දී ඉන්දියාව වීසා ගැට‍ළුවක් මත තරගාවලියට සහභාගී නොවීය. තරගාවලිය පෙබරවාරි 25 වැනිදා සිට පැවැත්විය.

2015 වසරේ දී අවසන් වරට බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය පැවැත්වුණු අතර එහිදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාව හා පාකිස්තානයි. එහි දී ශූරතාවය දිනා ගනු ලැබුවේ පකිස්තානය විසිනි.

2009 දී ආසියානු ශූරතා බේස්බෝල් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීම බේස්බෝල් ක්‍රීඩාවෙන් මෙතෙක් අප ලද ඉහලම  ජයග්‍රහණය වේ. මේ වන විට ආසියානු තරගාවලි 5කට සහභාගී වී ඇති ශ්‍රී ලංකාව මෙවර ඉස්ලාමාබත් නුවරට ගොස් ආපසු මව්බිමට පැමිණෙන්නේ  බටහිර ආසියානු බේස්බෝල් ශූරතාවය ද දෝත දරාගෙනය. ඒ සඳහා කණ්ඩායම් නායක අකලංක රණසිංහට ශක්තියක් වූ ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

අකලංක රණසිංහ (නායක), සමීර රත්නායක (උප නායක), ඉරේෂ් කෝසල, නිලංක කරුණාරත්න, සම්පත් රුවන් කුමාර, අසංක ලක්මාල්, ලසන්ත සංජිව, චරිත් හපුආරච්චි, සංජිව ජයරත්න, අරුණ ශාන්ත, සඳුන් මදුසංක, තරිඳු මදුමාල්, සාලිය අනුරාධ, අවිශ්ක ගුණසේකර, සුභාෂ් ගුණසිරි, නවින් අනුරාධ, කෞශල්‍ය ප්‍රබුද්ධ සහ අශාන් වීරසේකර

දිනේෂ් පෙරේරා කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළ අතර, ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කලේ මිලිඳු හේවගේය. ජපන් ජාතික හිදෙකි කොයාමා සහ කසුයා යාගි සහය පුහුණුකරුවෝ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියහ.

චීන තායිපේ හිදී පැවැත්වෙන ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේදී ද  මව්බිමට පදක්කමක් ගෙන ඒමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායමට හැකි වේවායි ThePapare.com හි අපි ද සුබ පැතුම් එකතු කරන්නෙමු.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<