දැල්පන්දුවේ මුල් පුටුවට සිව්කොන් සටනක්

145

මෙම මස 30 වැනිදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයේ සභාපති ධුරය සඳහා සිව්දෙනෙකු ඉදිරිපත් වී ඇති බව වාර්තා ‍වෙනවා.

සංගමයේ හිටපු සභාපතිනියක් වන වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය මෙවර නිලවරණය සඳහා ද ඉදිරිපත්ව ඇති අතර ඇයට අමතරව Caryll Tozer (බස්නාහිර පළාත් දැල්පන්දු සංගමය), පද්මා බද්දෙවෙල (කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) සහ වජිරා පුෂ්පකුමාරි (ගම්පහ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) යන මහත්මීන් සභාපති ධුරය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂිකාවන්.

සංගමයේ ලේකම් ධුරය සඳහා එල්. වී. දයාරත්න (කෑගල්ල දිස්ත්‍රික් දැල්පන්දු සංගමය), ශිරෝමි කුරුප්පු (රත්නපුර දිස්ත්‍රික් දැල්පන්දු සංගමය), ඩී. සී. සුමිත්‍රා (රත්නපුර දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) යන අයවලුන්ගේ නම් ඉදිරිපත්ව තිබෙනවා.

භාණ්ඩාගාරික තනතුර සඳහා පද්මිණී හොරණගේ (කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) සහ ජේ. එස්. ජයසූරිය (වෙළඳසේවා දැල්පන්දු සංගමය) යන මහත්මීන් ඉදිරිපත්ව ඇති අතර චම්පා ගුණවර්ධන (කළුතර දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) සහ Nitharshana Kulenthiran (වව්නියා දිස්ත්‍රික් දැල්පන්දු සංගමය) යන අයවලුන් උපලේකම් තනතුර සඳහා තරග වැදීමට නියමිතයි.

ලයනි රේණුකා මහත්මිය උපලේකම් තනතුර සඳහා නිතරගයෙන්ම පත්ව ඇති අතර වත්මන් සභාපති රංජනී ජයකොඩි සහ ලේකම් කුමුදිනී ගෝමස් මෙවර නිලවරණය සඳහා ඉදිරිපත්ව නැත.

ජාතික දැල්පන්දු සම්මේලනයේ ලියාපදිංචි සංගම් 35ක් මෙවර නිලවරණයේ දී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව ඇති අතර ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව යන සංගම් මෙවර නිලවරණයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<