පාසල් ක්‍රීඩා පිටියේ තහනම දීර්ඝ වේ

377
School level Sports postponed

දිවයින පුරා පැතිර ගිය කොරෝනා වසංගතයේ බලපෑම් නිසාවෙන් පාසල් ක්‍රීඩා පිටියේ කටයුතු නතර කර දැමීමට සිදු වූ අතර එලෙස නතර කෙරූ ක්‍රීඩා කටයුතු මෙම වසරේ ඉදිරි මාස හතර තුළ දී නැවත ආරම්භ නොකිරීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මෙම වසර අවසානය දක්වා කිසිදු පාසල් මට්ටමේ ක්‍රීඩා තරගාවලියක් නොපැවැත්වෙන බව නිල වශයෙන් සියලුම පාසල්වලට ප්‍රකාශ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියා.

වයිරස තත්වය නිසාවෙන් මාර්තු මාසයේ වසා දැමූ පාසල් අදියර කිහිපයක් යටතේ නැවත විවෘත කිරීමට පසුගිය මාසයේ සිට කටයුතු සිදු කළ අතර ලබන මස මුල් සතියේ සිට සියලුම සිසුන් සඳහා පාසල් ආරම්භ වීමට නියමිත බව ඊයේ (25) නිවේදනය කරන ලදි.

එලෙස නැවත පාසල් ආරම්භය පිළිබඳව පුවත් පලවීමත් සමඟ නැවතත් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තරගාවලි කිහිපයකටම අවසර ලබා දී ඇති පසුබිමක පාසල් ක්‍රීඩා කටයුතු ආරම්භ නොකරන්නේ ඇයි දැයි පාසල් පුහුණුකරුවන්ගෙන් චෝදනා පවා එල්ල වී ඇත.

මීට අමතරව විවිධ ක්‍රීඩා සංගම් මගින් පාසල් ක්‍රීඩකයින් හට ක්‍රීඩ තරගාවලි කිහිපයක් පැවැත්වීම සඳහා අවසර ඉල්ලා තිබූ නමුත් එම ඉල්ලීම් කිසිවෙකුටත් මේ දක්වා අවසර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නොතිබූ අතර එම අමාත්‍යාංශය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ පාසල් දරුවන්ගේ යහපත උදෙසා මෙම තීරණ ගත් බවයි.

තවත් ක්‍රීඩා පුවත් 

ඒ අනුව මෙම වයිරස තත්වය නිසාවෙන් මාර්තු/අප්‍රේල් මාසවල දී පැවැත්වීමට නියමිත තිබී දින නියමයක් රහිතව කල් දැමූ පාසල් මහා ක්‍රිකට් තරග කිහිපයක්ම මෙම වසර අවසානයේ දී පැවැත්වීමට ඒවායේ සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබුනත්, මෙම තහනමත් සමඟින් එම තරග මෙම වසර තුළ දී පැවැත්වීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

එයට අමතරව ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු මලල තරගාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ තරගාවලි මෙම වසර තුළ දී පැවැත්වීමට අවශ්‍ය නමුත්, ඉදිරියේ දී පැවැත්වෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පනවා ඇති මෙම තහනම නිසාවෙන් විශාල ගැටලුවකට මුහුණ පා ඇති බව ද පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවක දී මලල ක්‍රීඩා සංගමයේ සභාපති ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියා.

තවද මෙම වසරේ පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන් ද ඉදිරි මාස කිහිපය තුළ දී පැවැත්වීමට නියමිත බැවින් මෙම වසර තුළ දී ක්‍රීඩා කටයුතු ආරම්භ කිරීමට ඇති හැකියාව ද ඉතා අවම බැවින් මෙම වසර තුළ දී පාසල් ක්‍රීඩා පිටියේ නැවත ආරම්භයක් අපේක්ෂා කිරීමට නොහැක.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<