වනිඳු තමන් පිතිකරුවන් මට්ටු කරනා රහස හෙළි කරයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය - Coverage powered by My Cola

245

මෙවර LPL තරග වාරය තුල දී තමන් යැවූ නීත්‍යානුකූල පන්දු 198න් හරි අඩකට ආසන්න පන්දු සංඛ්‍යාවක් (97) එකදු ලකුණක් හෝ ලබා නොදී පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කළ Jaffna Stallions කණ්ඩායමේ වනිඳු හසරංග, ඔහුගේ ප්‍රබල පා දඟපන්දුවෙන් ලොව නම් දැරූ පිතිකරුවන් පවා අසරණ කරමින් ක්‍රීඩාගාරය වෙත හරවා යැවුයේ මෙරට අනාගත දඟපන්දුවේ සැබෑ උරුමක්කරුවා කවුරුන් දැයි යම් ඉඟියක් ක්‍රීඩාලෝලීන් වෙත ලබා දෙමිනි.

දැනට ක්‍රීඩා කළ තරග සියල්ලෙහි දත්ත විශ්ලේෂණය කර බැලූ විට දැකගත හැකි වූයේ ඔහුට එරෙහිව පිතිකරුවන් එල්ල කළ මුළු හතරේ සහ හයේ පහරවල් හී එකතුව ඔහු විසින් තරග වාරය පුරාවට බිඳ දැමූ මුළු කඩුලු සංඛ්‍යාවටත් වඩා අඩු අගයක් ගන්නා බවයි. ඉන් පෙනී යන්නේ ඔහු මනා සංයමයකින් යුතුව ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ක්‍රීඩා ශෛලීන් අධ්‍යයනය කරමින්, ඔවුන්ගේ දුර්වලතාවන්ට ගැළපෙන අයුරින් පන්දු යොමු කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කර ඇති බවයි.

දැනටමත් මෙවර LPL තරග වාරයෙහි වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ දැමූ පන්දු යවන්නන්ගේ නාමාවලියේ ඉහළින්ම රැඳී සිටින වනිඳු එම ලැයිස්තුවේ දෙවන ස්ථානයෙහි පසුවන Qais Ahmadට වඩා කඩුලු 4ක් දවාලමින් ඉදිරියෙන් පසුවන්නේ 17ක් වතාවක් ප්‍රතිවාදී පිතිකරුවන්ගේ ඉනිම් නිමා කිරීමේ පුරෝගාමියා බවට පත්වෙමිනි. 

තවද ඔහු එක් පන්දුවාරයක දී ලබා දී ඇති දල ලකුණු සංඛ්‍යාව ලෙස දිස්වන්නේ 5.27ක් වැනි ඉතාමත් අඩු සංඛ්‍යාවකි. දල වශයෙන් පන්දුවාරයක ඇති පන්දු සංඛ්‍යාවට වඩා අඩු ලකුණු ගණනකට තම පන්දුවාරයන් නිමා කළ ඇති එකම පන්දු යවන්නා වන්නේ ද වනිඳු හසරංගයි.

ESPN මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී තම පන්දු යැවීම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි වනිඳු පෙන්වාදී තිබුණේ ලකුණු ලබාගැනීමට ඇති අවස්ථා අහුරාලමින් ප්‍රතිවාදී පිතිකරුවන් පීඩනයට හසුකොට ගැනීමට හැකි නම් කඩුලු දවාගැනීම එතරම් අපහසු කර්තව්‍යයක් නොවන බවයි.

“මම හැමවෙලාවෙම උත්සාහ කළේ කඩුල්ල කෙළින් පන්දු යවන්න වගේම පුළුවන් තරම් ලකුණු ලබානොදී පන්දුවාරය සම්පූර්ණ කරන්න. ඒ උපාය වැඩ කළා කියලා මට දැන් හිතෙනවා. මොකද ලකුණු එන්නේ නැති වුනාම පිතිකරුවෝ උත්සාහ කරනවා අවධානම් පහරවල් වලට යන්න. ඉතින් ඒ වගේ අවස්ථාවක දී කඩුලු දවා ගන්න එක වඩාත් පහසුයි.”

තවත් ක්‍රිකට් පුවත්:

2017 වර්ෂයේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තම මංගල එක්දින තරගය ක්‍රීඩා කරන වනිඳු එහි දී කඩුලු ත්‍රිත්වයක් බිඳ දමමින් වාර්තා පොත් අලුත් කළේ ක්‍රිකට් ප්‍රජාවගේ අවධානය නිතැතින්ම ඔහු දෙසට යොමු කරගනිමිනි.

කෙසේ නමුත් වසර දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් යලිත් වතාවක් කරළියට පිවිසෙන වනිඳු 2019 වසරේ සිට මේ දක්වා සීමිත පන්දුවාර තරගයන්හී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන නිත්‍ය සාමාජිකයෙකු බවට පත්වී තිබෙන්නේ ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු වඩාත් පරිණත මෙන්ම සාර්ථකත්වයට පත්ව ඇති බවට කදිම නිදසුනක් සපයමිනි.

“කණ්ඩායමෙන් ඉවතට ඇඳුණු කාලසීමාවේ දී මම ගොඩක් දේශීය පළමු පෙළ තරගවලට අවධානය යොමු කළා.  මට හොඳ අවස්ථාවක් ලැබුණා විශේෂයෙන්ම මගේ පන්දු යැවීමේ අංශය තවත් දියුණු කරගන්න. මට හොඳ ආත්ම විශ්වාසයක් තිබුණා කණ්ඩායමට නැවත ඇතුල් වෙන්න පුළුවන් කියලා මොකද කෙටි කාලසීමාවක් ඇතුළත ලොකු දියුණුවක් ලබාගන්න පුළුවන් නම් මට නැවත අවස්ථාවක් ලැබෙවි කියන තැන ඉඳන් මම දිගටම පුහුණුවීම් කළා.”

“ගොඩක් තාක්ෂණික දේවල් පස්සේ යන්නේ නැතුව උත්සාහ කළේම කොහොමද පන්දුව තව ටිකක් වැඩිපුර දඟකවන්නේ, පන්දු හය කොහොමද මට අවශ්‍ය තැනට පතිත කරන්නේ කියන දේවල් ගැන අත්හදා බැලීම් කරන්න. ඊට අමතරව googly පන්දුව ප්‍රගුණ කරන්නත් මම සෑහෙන මහන්සි වුනා. පන්දුවාරයක පළවෙනි පන්දුවම googly එකක් යවන්න පුළුවන් මට්ටමට මම ඒක ප්‍රගුණ කළා. කොහොමත් සාම්ප්‍රදායික පා දඟපන්දුවයි, googly පන්දුවයි දෙකේදීම මගේ පන්දු යැවීමේ ඉරියව්, අංග චලන සමාන නිසා පිතිකරුවන්ට පන්දු තෝරා බේරා ගැනීමේ දී ගැටලුවක් එන්න පුළුවන්.

මීට අමතර LPL තරගාවලිය ඔස්සේ හදුනා ගත් නවතම සොයාගැනීම බවට පත්වූ Jaffna Stallions කණ්ඩායමේ විජයකාන්ත් වියස්කාන්ත් හටද වනිඳු තමන් දන්නා සියලු ශිල්ප ශාස්ත්‍ර කිසිදු පැකිළීමකින් තොරව ලබාදෙන අයුරු අවස්ථා කිහිපයක දී ම කැමරා කාචයන්ගේ සටහන් වනු දැකගන්නට ලැබුණි. යාපනයේ ඇතුළුව උතුරු ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ පුළුල් දැක්මක් සහිතව නිර්මාණය කෙරෙනු Jaffna Stallions කණ්ඩායමේ මෙම ක්‍රියාන්විතය පිළිබඳ බොහෝ පාර්ශවයන් සිය ප්‍රසාදය පළකොට තිබේ. 

“මට මුලින්ම ඔහුව මුණ ගැහුනේ පුහුණුවීම් පටන් ගත්ත පළවෙනි දවසේ. ඒ වෙනකල් මම විජයකාන්ත් ගැන අහලා තිබුනේ නැහැ. ඔහු පන්දු යවන විදිය දිහා බලාගෙන හිටියම මට තේරුණා ඔහුට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. මට පුළුවන් වුනා මම දන්න දේවල් සහ අත්දැකීම් ඔහුත් එක්ක බෙදාගන්න. මගේ පැත්තෙන් ඔහුට අවශ්‍ය උපරිම සහයෝගය ලබා දුන්නා වගේම ඉදිරියේදිත් ලබා දෙනවා. ලැබුණු පළමු අවස්ථාවෙන්ම උපරිම ප්‍රයෝජනය ගන්න ඔහුට පුළුවන් වුනා. විජයකාන්ත් කියන්නේ දක්ෂ වගේම දීප්තිමත් අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<