පාසල් ක්‍රිකට් පිටියට ප්‍රධාන පෙළේ සය සාමාජික තරගාවලියක්

Vazians Super Sixers අභියෝගතා කුසලාන තරගාවලිය 2023

621

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ 90 වැනි සංවත්සරයට සමගාමීව සංවිධානය කරන, “2023 Vazians Super Sixers අභියෝගතා කුසලාන තරගාවලිය” මේ මස 26 සහ 27 දෙදින වෙන්නප්පුව, ඇල්බර්ට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

විද්‍යාලයේ ආදි ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන මේ ලෙදර් පන්දු සය සාමාජික තරගාවලිය සඳහා Jaya  Farm සහ HB Sports ආයතන අනුග්‍රාහකත්වය දක්වන අතර තරගාවලිය වෙනුවෙන් දිවයින පුරා විසිරුණු ප්‍රධාන පෙළේ ක්‍රිකට් පාසල් කණ්ඩායම් සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අවට තිබෙන සහෝදර පාසල් කිහිපයක කණ්ඩායම් කිහිපයක් ද ඇතුලත්ව කණ්ඩායම් 24ක් එක් වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් කණ්ඩායම් වෙනුවෙන් මෙවැනි ආකාරයක ප්‍රධාන පෙළේ සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ වසර 10කට පසුවයි. මෙවැනි ආකාරයේ තරගාවලියක් 2013 වසරේ දී වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් සංවිධානය කර තිබෙන අතර එහි ශූරතාවය දිනා ගත්තේ කැළණිය ගුරුකුල විද්‍යාල කණ්ඩායමයි.

Vazians Super Sixers අභියෝගතා කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ශූරතා කුසලානය සහ සහතික පත්වලට අමතරව රුපියල් 150,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් ලබා දීමට නියමිත අතර එහි අනුශූරතාවය දිනාගන්නා කණ්ඩායමට අනුශූරතා කුසලානයට අමතරව රුපියල් 100,000ක් වටිනා ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් පිරිනැමීමට නියමිතයි.

ඊට අමතරව තරගාවලිය තුල ඒ ඒ ක්‍රීඩකයින් දක්වනු ලබන දස්කම් අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දු යවන්නා, දක්ෂතම පන්දු රකින්නා, තරගාවලියේ වීරයා වෙනුවෙන් විශේෂ ත්‍යාග පිරිනැමීමට ද තරග සංවිධායකයින් සූදානමින් සිටිනවා.

>>Photos – Vazians Super Sixers Challenge Trophy 2023 – Press Conference<<

පිළිමළුන් පිටුදැකීමේ (Knockout) ක්‍රමයට පැවැත්වෙන මේ තරගාවලිය සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 8 දෙනෙකු සහභාගී කරවිය හැකි නමුත්, එක් තරගයක් තුල ක්‍රීඩා කරවිය හැක්කේ ක්‍රීඩකයින් 6 දෙනෙකු පමණයි.

එක් ඉනිමක් පන්දුවාර 5කට සීමා වන මේ තරගාවලිය තුල වයිඩ් පන්දු (Wide Ball) සහ නිපන්දු (No Ball) පන්දුවාරයේ පන්දු 6 සඳහා ගණනය නොකරන අතර එක් අවස්ථාවක් වෙනුවෙන් ලකුණු 2ක් පිරිනැමෙනවා, එසේම නිපන්දු වෙනුවෙන් නිදහස් පහර (Free Hit) අවස්ථාවක් ද ලැබෙනවා.

තරගාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව ඊයේ (10) කොළඹ, වෙළඳසංගම් ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණු අතර ඒ වෙනුවෙන් වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ගරු විදුහල්පති ප්‍රියන්ජීව ගුණරත්න පියතුමා, ක්‍රීඩා සහ විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති ගැමුණු කුමාර මහතා, ක්‍රිකට් ක්‍රීඩා භාර එස්. එල් රංගිකා මිය, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් නිශාන්ත කුමාර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු පුහුණු කළමනාකරු ටිරෝන් විජේවර්ධන මහතා සහ Jaya  Farm සහ HB Sports ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂක ජයාන් ජයවර්ධන මහතා, තරග වදිනු ලබන පාසල් කණ්ඩායම්වල නායකයින්, ක්‍රීඩා භාර ආචාර්යවරුන් ඇතුළු තවත් මහත්ම මහත්මීන් රැසක් සහභාගී වී සිටියා.

තරගාවලියේ තරග සැකැස්ම මෙසේයි,

පුරා දින දෙකක් පුරාවට පැවැත්වීමට නියමිත මේ තරගාවලිය ThePapare.com වෙබ් අඩවිය, ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 126 සහ ThePapare Cricket ෆේස්බුක් පිටුව, ThePapapre YouTube හරහා සජීවීව ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<