Moragasmulla, Java Lane පහසු ජයක් ලබද්දී New Youngsට තියුණු ජයක්

Vantage FFSL President's Cup 2020

256

Vantage FFSL President’s Cup 2020 තරගාවලියේ අද (13) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කරන්නට Moragasmulla, Java Lane සහ New Youngs ක්‍රීඩකයන් සමත් වූ අතර New Star සහ Matara අතර තරගය කිසිදු ගෝලයක් වාර්තා නොවි නිමාවට පත්විය.

New Star SC – Matara City 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ, ගෝල වාර්තා කරගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයික්ම මඟහැරීම නිසාවෙන් කිසිදු ගෝලයක් වාර්තා කරගන්නට දෙපිලේම ක්‍රීඩකයින් ප්‍රථම අර්ධයේ දී අසමත් විය. 

දෙවන අර්ධයේ ආරම්භයේ පටන්ම New Star ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් දක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කිරීමට සමත් වුවත් Matara පසුපෙළ ක්‍රීඩකයන්ගේ දස්කම් නිසාවෙන් ගෝල වාර්තා කරගැනීමට තිබූ අවස්ථාවන් රැසක් New Star ක්‍රීඩකයන්ට අහිමි විය.

Matara කණ්ඩායම විසින් තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ගෝල රාමුව වෙත එල්ල කළ සාර්ථක පහරවල් කිහිපයක්ම New Star ගෝල රකින්නා සහ පසුපෙළ ක්‍රීඩකයන් විසින් වැළැක්වීම නිසාවෙන් තරගය අවසන් වූයේ දෙපිළටම එකඳු ගෝලයක් හෝ වාර්තා කරගැනීමට නොහැකිවයි.

අවසන් ලකුණු තත්වය: New Star SC 00 (00) – 00 (00) Matara City


New Youngs FC – Renown SC 

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ 19 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් සාර්ථක කරගනිමින් මුල්ම ගෝලය වාර්තා කිරීමට New Youngs ක්‍රීඩක තරිඳු ධනුෂ්ක සමත් විය

Renown ක්‍රීඩකයන් ගෝල වාර්තා කරගැනීමට එල්ල කළ පහරවල් කිහිපයක්ම ප්‍රතිවාදී ගෝල රකින්නාගේ දස්කම් නිසාවෙන් වැළකී ගියේය. නමුත් තරගයේ 44 වැනි මිනිත්තුවේ දී ලද නිදහස් පහරක් සාර්ථක කරගනිමින් පළමු අර්ධය සමව අවසන් කරන්නට Renown ක්‍රීඩක Jude Suman සමත් විය. 

New Youngs වෙනුවෙන් 47 වැනි මිනිත්තුවේ දී පන්දුව අලංකාර ලෙස හිසින් ස්ථානගත කරමින් දෙවැනි ගෝලය රැස්කරන්නට පුන්සර සේනානායක සමත් විය. තරගයේ 52 වැනි මිනිත්තුවේ දී තවත් ගෝලයක් රැස්කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය ගෝල පරතරය ලබා දීමට සමත් වූයේ New Youngs ක්‍රීඩක මධුශංක කරුණාරත්න ය. 

දෙවන අර්ධය ආරම්භයේම සිදු වූ දැඩි පසුබෑමත් සමඟින් නැවතත් තරගයට පිවිසීමට උත්සාහ දැරූ Renown කණ්ඩායම වෙනුවෙන් 94 වැනි මිනිත්තුවේ දී ගෝලයක් රැස්කර දීමට නිදර්ශන් සමත් වුවත් New Youngs ක්‍රීඩකයන්ට තරගාවලියේ මුල්ම ජය හිමිකර දෙමින් ගෝල 3-2ක් ලෙස තරගය අවසන් විය.

අවසන් ලකුණු තත්වය: New Youngs FC 03 (01) – 02 (01) Renown SC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

  • New Youngs FC – තරිඳු 19’, පුන්සර 47’, ධනංජය 52’
  • Renown SC – Suman 44’, නිදර්ශන් 90+4’ 

තවත් කියවන්න: 


Moragasmulla SC – Up Country Lions SC 

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව තුළට යොමු කළ පන්දුවක් අලංකාර ලෙස හිසින් ස්ථානගත කරමින් තරගයේ මුල්ම ගෝලය රැස් කිරීමට මොරගස්මුල්ල ඉදිරිපෙළ ක්‍රීඩක එරංග සමත් විය.

මොරගස්මුල්ල ක්‍රීඩකයන්ට තරගයේ වැඩි වාසිය හිමිකර දෙමින් පළමු අර්ධය නිමා වූ අතර  දෙවැනි අර්ධයේ දී තරමක් ආක්‍රමණශීලී තරග රටාවක් Up Country ක්‍රීඩකයන් පෙන්නුම් කිරීමට සමත් වුවත් දෙවැනි අර්ධය අවසානයේ දී ක්‍රියාත්මක වූ මොරගස්මුල්ල ක්‍රීඩක මධුශංක විසින් 83 වැනි මිනිත්තුවේ දී කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් විය. එම අර්ධයේම 88 වැනි මිනිත්තුවේ දී මොරගස්මුල්ල ක්‍රීඩක ප්‍රියංකර වාර්තා කර ගත් ගෝලයත් සමඟින් තරගාවලියේ මුල්ම ජයග්‍රහණය හිමිකර ගැනීමට මොරගස්මුල්ල ක්‍රීඩකයන් සමත් විය. 

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 03 (01) – 00 (00) Up Country Lions SC 

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

  • Moragasmulla SC – එරංග 6’, මධුශංක 83’, ප්‍රියංකර 88’

Java Lane SCBlue Star SC 

තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ දෙවැනි මිනිත්තුවේ දී ම Java Lane ක්‍රීඩකයන්ට ගෝලයක් වාර්තා කරගැනීමට තිබූ පහසු අවස්ථාවක් මඟහැරී ගියේය. නමුත් තරගයේ 14 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුව අසල සිට පන්දුව හිසින් ස්ථානගත කරමින් Java Lane ක්‍රීඩක අබ්දුල්ලා විසින් වාර්තා කරගත් ගෝලයත් සමඟින් සාර්ථකව පළමු අර්ධය නිමා කිරීමට Java Lane ක්‍රීඩකයන් සමත් විය. 

Java Lane ක්‍රීඩකයන් හට තරගයේ 51 වැනි මිනිත්තුවේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් දෙවැනි ගෝලය රැස්කර දීමට මාලක පෙරේරා සමත් විය. තරගයේ 77 වැනි මිනිත්තුවේ දී ගෝල රාමුවෙන් පිටත සිට පහරක් එල්ල කරමින් Java Lane ක්‍රීඩක නවීන් වාර්තා කර ගත් ගෝලයත් සමඟින් ගෝල 3-0ක පහසු ජයක් Java Lane ක්‍රීඩකයන් සතුවිය. 

අවසන් ලකුණු තත්වය: Blue Star SC 00 (00) – 03 (01) Java Lane SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්

  • Java Lane SC – අබ්දුල්ලා 14’, මාලක 51’, නවීන් 77’ 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<