මරුවා සමඟ සටන් කළ ලෝක කුසලාන වීරයෝ

Unheard World Cup Stories | Part 09

5402

මේ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සියල්ල සූදානම් වී තිබෙන මොහොතක්.

මෙවර තරගාවලියේ ආරම්භයට පෙර පහුගිය තරගාවලිවල සිදු වෙච්ච වැඩිය අහලා නැති අපූරු සිදුවීම් කිහිපයක් ඔබ වෙත ගෙන එන්න. මේ ඒ ලිපිමාලාවේ නමවැන්නයි.

ඉන්දියානුවන් බොඳ කළ BMW සිහිනය

1983 වසරේ පෘඩෙන්ෂල් ලෝක කුසලානය තෙවැනි වරටත් පැවැත්වුණේ එංගලන්තයේ දී. එවර තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියේ දෙවරක් ලෝක කුසලාන ජයග්‍රහණයක පහස ලබා සිටි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දැවැන්තයන් සමඟ තැබූ විට ඉන්දියානු ජයග්‍රහණයක් වෙනුවෙන් කිසිවෙකුට විශාල බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

සිය කණ්ඩායමේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නොමැති අවස්ථාවක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සුඛෝපභෝගී මෝටර් රථයක් තමන් සතු කරගන්නට කල්පනා කළා.

අවසන් මහා තරගයේ තමන්ට ලැබිය යුතු මුදල් ප්‍රමාණය සිහියේ තබා ගත් මැල්කම් මාර්ෂල් නවතම BMW මෝටර් රථයක් වෙනුවෙන් මූලික තැන්පතුවක් කළා.

“අපේ ජයග්‍රහණය ගැන මට කිසිම සැකයක් තිබුණේ නෑ. මම BMW වර්ගයේ මෝටර් රථයක් ඇනවුම් කළේ අවසන් මහා තරගයෙන් මට ලැබෙන මුදලින් එය පහසුවෙන්ම ගෙවා දැමීමට හැකි නිසයි. 

අහෝ! මම මොන තරම් මෝඩයෙක් ද?

ඉන්දියානුවන් ලකුණු 183කට දැවී ගිය මොහොතේ පවා  මගේ වාහන සිහිනය සැබෑවක් වන බවට කිසිම සැකයක් තිබුණේ නෑ. 

මම සුක්කානම පිටුපස වාඩි වී සිටිමින් අලුතින් ගත් මෝටර් රථය ලන්ඩනයේ වීදි ඔස්සේ පදවාගෙන ආකාරය පවා සිතින් මවා ගත්තා.”

1983 ලෝක කුසලාන තරගයක දී ඉම්රාන් ඛාන්ගේ කඩුල්ල දවා ගත් මැල්කම් මාෂල්

මාර්ෂල්ගේ BMW සිහිනය ඇතුළු බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සිහින සියල්ල එක පොදියට අකුලා ගන්නට සිදු වූයේ කපිල් දේව්ගේ නායකත්වයෙන් එංගලන්තයට පැමිණි තරුණ ඉන්දියානු කණ්ඩායම දැවැන්ත කොදෙව් කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානය ඉන්දියාවට රැගෙන ගිය බැවින්.

ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී ලබා ගත් ලකුණු 183ට පිළිතුරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලබා ගත හැකි වුනේ පන්දුවාර 52ක දී සියලුම ක්‍රීඩකයින් දැවී ලකුණු 140ක් පමණයි. ඒ අනුව ලකුණු 33ක අනගි ජයග්‍රහණයක් හිමිවුණේ ඉන්දීය කණ්ඩායමටයි.

ඔහු කවදාහරි ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට පත් වෙන්න ඕන අයෙක්.

2011 ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ක්‍රීඩකයින් අතර ඉදිරියෙන්ම සිටි ක්‍රීඩකයෙකු වූයේ යුව්රාජ් සිං.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් නොතිබුණ ද, ‍යුව්රාජ් නම් තුන් ඉරියව් ක්‍රීඩකයා ඉන්දියාවේ ලෝක කුසලාන ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය වුනා. යුව්රාජ් සිංට පිළිකාවක් වැළඳී ඇති බව අනාවරණය වුණේ ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව.

පෙණහළු අතර පපුවේ ඇති පටකවලට බලපාන දුර්ලභ පිළිකාවක් ඔහුට වැළඳී ඇති බවට අනුමාන කෙරුණා. රෝග විනිශ්චය කිරීමෙන් පසු යුව්රාජ් ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් සහ ඉන්ඩියානාපොලිස්’හි රසායනික චිකිත්සාවකට භාජනය වුනා.

“යුව්රාජ් අසනීපයෙන් සිටියේ. ඒ වගේම ඔහු විශාල වේදනාවකින් සහ කනස්සල්ලෙන් තරගවලට මුහුණ දුන්නේ. පිතිකරණයේ යෙදෙන කොට ඔහුට නිරන්තරයෙන් කැස්ස ආවා. සමහර වෙලාවට වමනයත් පිටවුනා.

මම යුවීගෙන් ඇහුවා, ඇයි ඔබට ඔච්චර කැස්ස? ඔබේ වයස එක්ක ඔබ කරන්නේ කුමක් දැයි බලන්න කියා. නමුත් ඔහු විඳින වේදනාව ගැන අංශුමාත්‍රයක හෝ අදහසක් අපිට තිබුණේ නැහැ. ඔහු අසනීපය තියාගෙන පවා ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ලෝක කුසලානයට ක්‍රීඩා කළා. 

අපි තත්ත්වය නොදැන සිටි නිසා අපි ඔහුට විහිළු කළා. අවාසනාවකට ඒ පිළිකාවක ලක්ෂණ බව අපි දැනගත්තේ පස්සේ.

යුව්රාජ් සිං හිටියේ නැත්නම් නම් ඉන්දියාවට 2011 ලෝක කුසලානය ලෙහෙසියෙන් දිනා ගන්න ලැබෙයි කියලා මට හිතෙන්නේ නැහැ. යුව්රාජ් වැනි ක්‍රීඩකයෙක් අපිට කවදාවත් ඉඳලා නැහැ. ඔහු වෙනම තලයක ක්‍රීඩකයෙක්.” 

යුව්රාජ් සිං සමඟ 2011 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූ යුව්රාජ්ගේ සමීපතම මිතුරෙකු වන හර්බජාන් සිං පැවසුවේ එවැන්නක්.

යුව්රාජ් සිං නම් ඉන්දියානුවා වෙනුවෙන් සුබ ප්‍රාර්ථනාවන් එක් කළේ ඉන්දියානුවන් විතරක් නෙවෙයි.

“ඔහු යුව්රාජ් නියමිත වේලාවට හොඳින් සුවවී එක්  වතාවක් හෝ ඉන්දියානු කණ්ඩායමට නායකත්වය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

1999 ලෝක කුසලානය අතරතුර මගේ සැමියාට මහා බඩවැලේ පිළිකාවක් තිබෙන බව හෙළිවුනා. ප්‍රතිකාර ආරම්භ කිරීම සඳහා ඔහු වහාම ඔහුගේ පුහුණුකරු රැකියාවෙන් ඉවත් වූ නමුත් එය අසාර්ථක වුනා. ඔහු ශල්‍යකර්මයක් පවා කළා. ඒත් ඔහුට සුවය ලබන්න බැරි වුනා.”

යුව්රාජ් සිං 2011 ලෝක කුසලානය අතරතුර

මෙහෙම යුව්රාජ් වෙනුවෙන් සුබ පැතුම් එක් කර සිටියේ කොනී මාර්ෂල්. කොනී මා‍ර්ෂල් කියන්නේ කාලයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ අද්විතීය වේගපන්දු යවන්නෙකු වූ මැල්කම් මා‍ර්ෂල්ගේ ප්‍රිය බිරිඳ.

1999 ලෝක කුසලාන තරගාවලිය අතරතුර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කරමින් සිටි මැල්කම් මාර්ෂල් උදරයේ ඇති වූ දැඩි වේදනාකාරී තත්ත්වයක් නිසා බර්මිංහැම්’හි රෝහලකට ඇතුළත් කෙරුණා.

පළමුවරට මැල්කම් මාර්ෂල් බඩවැල් ආශ්‍රිත පිළිකා රෝගයකින් පීඩා විඳින බව දැනගන්නට ලැබුණේ ඉන් පසුව. වහා වහාම ප්‍රතිකාර සඳහා යොමුවුවද ඉන් පලක් වූයේ නැහැ.

“මම හරිම ධනාත්මකව හිතන කෙනෙක් මම හිතනවා මට මේක ඉක්මනින් සනීප කරගන්න පුළුවන් වෙයි කියා,” අවසන් සම්මුඛ සාකච්ඡාවේ දී පවා මාර්ෂල්ගෙන් දැක ගත හැකි වූයේ ඔහුටම සුපුරුදු සටන්කාමී බව.

1999 වසරේ නොවැම්බර් 04 වැනිදා අකාලයේ ජීවිත සටනට සමුදෙන විට මාර්ෂල්ගේ වයස අවුරුදු 41ක් වූවා පමණයි. පිළිකා රෝගයේ දරුණුබව නිසාම මිය යන විට ඔහුගේ ශරිර බර යාන්තම් කිලෝග්‍රෑම් 25කට මදක් වැඩි වුනා.

මාර්ෂල් ඔහුගේ මරණයට සති කිහිපයකට පෙර එනම් 1999 සැප්තැම්බර් 25 වැනි දින කොනී සමඟ විවාහ වුනා. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ සම්බන්ධතාවය ඇරඹුවේ 80 දශකයේ මැද භාගයේ දී.

මාලි නමින් මාර්ෂල් දෙපළට පුතෙකු සිටිනවා. ඔහු උපන්නේ 1993 වසරේ.

කබීර් ඛාන් 1983 වසරේ ඉන්දියානු කණ්ඩායමේ ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් 83 නමින් චිත්‍රපටයක් නිර්මාණය කළ අවස්ථාවේ දී මැල්කම් මාර්ෂල්ගේ චරිතය වෙනුවෙන් තෝරා ගනු ලැබුවේ ඔහුගේ පුත්‍රයා මාලි මාර්ෂල්.

මාලි මාර්ෂල්ට සිය පියාට බෙහෙවින් සමාන පන්දු යැවීමේ ඉරියව්වක් තිබෙන නිසා චිත්‍රපට නිර්මාණකරුවන්ගේ වැඩ කටයුතු බොහෝ ලෙහෙසි වූ බව කියවෙනවා.

තවත් කතාවක් සමඟ නැවත හමුවෙමු.

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<