බ්‍රෙට් ලී සහ ඉන්දියානු බිත්තර වෙළෙන්දා!

804

ඉන්දියාව කියන්නේ අපිට හිතාගන්නවත් බැරි තරමේ විශාල ක්‍රිකට් උන්මාදයක් තියන රටක්. ඉන්දියානුවන්ට ක්‍රිකට් කියන්නේ ආගමකටත් එහා ගිය දෙයක්. ඒක ආත්මීය බැඳීමක් කිව්වත් වැරදි නෑ.

ඒ වගේම තමයි ඉන්දියාව කියන්නේ විශාල වශයෙන් මුදල් ගැවසෙන විශාල වෙළඳපොළක්.

ඉන්දියානු ව්‍යාපාරිකයෝ ඕනැම වෙලාවක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ආයෝජන කරන්න කිසිම ආකාරයකින් පැකිළෙන්නේ නැහැ. මොකද ඒ ආයෝජනවලට ලැබෙන ප්‍රතිලාභ, ප්‍රසිද්ධිය මොන වගේ ද කියන එක ඔවුන් හොඳටම දන්නවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගය අද වෙද්දී මුළු ලෝකයම හොල්ලලා ඉවරයි. මේ වෙද්දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හිතා ගන්න බැරි තරම් මුදල් කන්දරාවක් ගැවසෙන තැනක්. මේ මූල්‍යමය බලය නිසාම ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් කරන්න ඉන්දියානුවන්ට හැකියාවක් ලැබිලා තියනවා.

ඒත් එක්කම කියන්න ඕන කාලෙකට ඉස්සර ජාත්‍යන්තර තලයේ කොන් වෙලා හිටපු, හඬක් නැතුව හිටපු ඉන්දියාව අද වෙද්දී තමන්ගේ මූල්‍ය බලය නිසා මුළු ක්‍රිකට් ලෝකයම හොල්ලලා ඉවරයි.

අද අපි කියන්න යන්නෙත් ඒ විදියට ඉන්දියානු ව්‍යාපාරිකයෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයෙක් එක්ක ව්‍යාපාරික ගනුදෙනුවක් ආරම්භ කරපු අපූරු කතන්දරයක්.

බ්‍රෙට් ලී මහත්මයා නේද?”

ගුවන් යානයේ අසුනකට බරවී නින්දක් දැමීමට සූදානමින් සිටි ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා දෑස් හැර බලන විට ශරීර ප්‍රමාණයෙන් ඉතා කුඩා, මැදි වයසේ ඉන්දියානු ජාතිකයෙකු ඔහු ඉදිරියේ විය.

සර්, මිස්ටර් වෙන්කිට ඔබට කතා කරන්න ඕන බව කියනවා. ඔහු මේ වෙලාවේ ඉන්නේ නම් පළමු පංතියේ අසුනක. ඔබට දැන්මම මා එක්ක එන්න පුළුවන් ද?”

බ්‍රෙට් ලී කලින් දා රාත්‍රියේ චැම්පියන්ස් ලීග් විස්සයි විස්ස තරගාවලිය ජයග්‍රහණය කළ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සාමාජිකයෙක්.

තමා නැවත ඕස්ට්‍රේලියාව බලා යන ගමන අතරවාරයේ මදක් විවේක ගන්නට සූදානම් වෙමින් සිටි අවස්ථාවක නන්නාඳුනන ඉන්දියානුවෙකුගෙන් ආ ඉල්ලීම ඉටු කරන්නට බ්‍රෙට් ලීට කිසිදු අවශ්‍යතාවක් තිබුණේ නැහැ.

ඉන්දියානුවා කිහිප වතාවක් පැමිණ තමා සමඟ පළමු පංතියට එන ලෙස ආයාචනා කළ ද, බ්‍රෙට් ලීගේ මතය වෙනස් කරන්නට ඉන්දියානුවාට හැකි වූයේ නැහැ.

සමහර විට සමරු අත්සනක් ඕන ප්‍රේක්ෂකයෙක් වෙන්න ඇති. බ්‍රෙට් ලී අනෙක් පසට හැරෙමින් තමාටම කියා ගත්තා.

මිස්ටර් වෙන්කිට කියන්න මම ෆ්‍ලයිට් එකෙන් බහින කොට එයාට අත්සනක් දෙන්නම් කියලා,” කාරුණිකව පිළිතුරු දුන් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා නැවතත් අසුනට හරිබැරි ගැහී නිදන්නට සූදානම් වුනා.

ඉන්දියානුවා අඩියක් හෝ පස්සට ගන්නට කිසිම සූදානමක් නැත.

උත්සාහය අත් නොහරින ඉන්දියානුවාට මෙවර අමුතුම පොටක් කල්පනාවට ආවා.

සර් කරුණාකරලා පොඩ්ඩකට වාඩි වෙලා ඉන්න ආසනයෙන් නැගිටින්න පුළුවන් ද?”

බ්‍රෙට් ලී මදක් නැගිටින්නට අසුනෙන් ඉදිරියට නැඹුරු වුනා. ඒ අතරවාරයේ ඉන්දියානුවා එහෙන් මෙහෙන් පැන ගොස් කෙසේ හෝ බ්‍රෙට් ලීගේ අසුනේ හිඳගත්තා.

සර් මිස්ටර් වෙන්කිට ඔබව කොහොමහරි මුණ ගැහෙන්න ඕන ලු. දැන් නම් ඔබට මා එක්ක යන්නම වෙනවා.”

ඉන්දියානුවාගේ බලවත් පෙරත්තය ඉවසිය නොහැකි තැන බ්‍රෙට් ලී සාමාන්‍ය පංතියේ සිට පළමු පංතියට ගොස් මිස්ට’ වෙන්කි හමුවීමට තීරණය කළා.

වෙන්කි…වෙන්කි.. හ්ම්ම් හොඳට අහලා පුරුදු නමක්,” පළමු පංතියට ඇවිද යන අතරවාරයේ බ්‍රෙට් ලී තමාටම කියා ගත්තා.

බ්‍රෙට් ලී එනතුරු ගුවන් යානයේ පළමු පංතියේ සැදී පැහැදී සිටි මිස්ටර් වෙන්කි ආචාර සමාචාර කරමින් ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නා පිළිගත්තා.

සුබ පැතුම් ලී මහත්මයා. ඔබ ඊයේ රාත්‍රියේ හොඳින් ක්‍රීඩා කළා. මම ඔබේ ලොකු රසිකයෙක්,” 42 හැවිරිදි ඉන්දියානුවා කතා බහ ආරම්භ කළා.

බ්‍රෙට් ලීට විදුලියක් කෙටුවාක් මෙන් පෙරදා රාත්‍රිය සිහි වුනේ ඒ අවස්ථාවේ දීයි.

මේක මට කියන්න මිස්ටර් වෙන්කි. ඊයේ රෑ ට්‍රිනිඩැඩ් ඇන්ඩ් ටොබෑගෝ ටීම් ජර්සි එකේ ගහලා තිබුණේ වෙන්කි කියලා නමක්. ඒකට ඔබේ සම්බන්ධයක් තියනවා ද?,” බ්‍රෙට් ලී දැඩි කුතුහලයකින් මෙන් විමසුවා.

පෙරදා රාත්‍රියේ හයිද්‍රාබාදයේ දී ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ කණ්ඩායම ලකුණු 41කින් පහසුවෙන් පරාජය කරන්නට නිව් සවුත් වේල්ස් කණ්ඩායම සමත් වුනා. තරගයේ වීරයා වුනේ පිත්තෙන් සහ පන්දුවෙන් උසස් දස්කම් දැක්වූ බ්‍රෙට් ලී.

හයේ පහර පහක් සමඟ පන්දු 31කින් ලකුණු 48ක් රැස් කළ ලී පන්දු යැවීමෙන් ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ ඉදිරිපෙළ කඩුලු දෙකක් දවා ගත්තා.

ඔබ හරියටම හරි මිස්ටර් ලී. ඒ මගේ බිස්නස් එක.”

කොහොමද ඔබේ බිස්නස් නැගලා යනවා ද”

ඕස්ට්‍රේලියානුවා ඇසුවේ ඉන්දියානුවාගේ පෙනුම දෙස සිත් යොමා ගෙන තරමක උපහාසාත්මක බවක් සිතේ තබාගෙනයි.

ඉන්දියාවේ විකිණෙන බිත්තර සීයක් ගත්තොත් ඒකෙන් අනූනමයක්ම වෙන්කිගේ බිත්තර මහත්මයා. ඒ වගේම ඉන්දියාවේ කුකුල් මස් සීයට අසූහතක ප්‍රමාණයක් වෙන්කිගේ කුකුල් මස්.”

පෙරදා රාත්‍රියේ ජයග්‍රහණයෙන් අනතුරුව කෙළින් කටින් හිටගන්නට බැරි තරම් විනෝද වී සිටි බ්‍රෙට් ලී කිසිවෙකු තමා උස්සා පොළොවේ ගැසුවාක් මෙන් පියවි සිහියට ආවේ ඒ අවස්ථාවේ දීයි.

හොඳ සිහියකින් නොසිටියත් බ්‍රෙට් ලීට ගණදෙවි නුවන පහළ වුනේ මේ අවස්ථාවේ දීයි.

මිස්ටර් වෙන්කි… මම හිතන්නේ ඔබේ ව්‍යාපාරයේ නව මුහුණුවර විය යුත්තේ මේ මම. ඔබ මොකද කියන්නේ?”

කිසිම සැකයක් තියාගන්න එපා ලී මහත්මයා. අනිවාර්යයෙන්ම ඒ මුහුණුවර ඔබ තමයි,” ඉන්දියානුවා එක පයින් බ්‍රෙට් ලීගේ ඉල්ලීමට එකඟ වුනා.

බ්‍රෙට් ලී නම් ඕස්ට්‍රේලියානු වේගපන්දු පුරාවෘත්තය සහ අහම්බෙන් මුණ ගැසුණ ප්‍රකෝටිපති ඉන්දියානුවෙකු අතර අරුම පුදුම තාලයේ ව්‍යාපාරික ගනුදෙනුවක් ඇරඹෙන්නේ එලෙසයි.

වහාම ඕස්ට්‍රේලියාවේ සිටි බ්‍රෙට් ලීගේ කළමනාකරුවා සමඟ සම්බන්ධ වූ ඉන්දියානු ව්‍යාපාරිකයා නීත්‍යානුකූලවම බ්‍රෙට් ලී සමඟ ගිවිසුම ආරම්භ කිරීමට මූලික පියවර තැබුවා.

ඔහු කෙළින්ම මගේ කළමනාකාරවරයාට කතා කරලා තිබුණා. වැඩි දවසක් යන්න කළින්ම ඔවුන් ගිවිසුම් ගත වෙලාත් තිබුණා.

මිස්ටර් වෙන්කි හමුවීමට යන හැම අවස්ථාවක දී ම ඔහු මට රොලෙක්ස් වර්ගයේ අත් ඔරලෝසුවක් තෑගි කළා,” අහම්බයකින් මෙන් තමාට කඩා පාත් වූ වාසනාව ගැන බ්‍රෙට් ලී පසුකලෙක කීවේ එහෙමයි.

බ්‍රෙට් ලී සහ බිත්තර වෙළෙන්දා කතාව Cricket Legends වැඩසටහන ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<