උඩඟු පාකිස්තානු නායකයාට ඉන්දියාවෙන් පාඩමක්!

1409

ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් ගැටුමක් කියන්නේ ක්‍රිකට් පිටියටම සීමා කරන්න පුළුවන් සටනක් නෙවෙයි. සමාජීය, දේශපාලන සහ තවත් බොහෝ කරුණු කාරණා එක්ක විශාල වපසරියක විහිදුණු ගැටුමක්.

පහුගිය දවසක ඉන්දියානු කණ්ඩායම පාකිස්තානයට එරෙහිව අතිශය තියුණු ජයග්‍රහණයක් වාර්තා කළා. මේ තරගය හරහා අපි තීරණය කළා පොඩ්ඩක් අතීතයට යන්න.

දිනය 1985 අවුරුද්දේ මාර්තු 9 වැනිදා. බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊට පසු දිනයේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ඇරඹීමට සියල්ල සූදානම්.

සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක්ක ඉන්දියාව, පාකිස්තානය, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය කියන එවකට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙකුත් රටවල් සියල්ලෝම මේ තරගාවලියට සහභාගී වුනා.

බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම්වල නායකයින්.

තරගාවලියට සහභාගී වෙච්ව් කණ්ඩායම් 7 අතරින් අවසන් තරගයට සුදුසුකම් ලබාගෙන හිටියේ සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයෝ දෙන්නා. ඒ කියන්නේ ඉන්දියාව සහ පාකිස්තානය.

තරගයට පෙර දවසේ පාකිස්තානු නායක ජාවේඩ් මියැන්ඩෑඩ්ට සහ ඉන්දියානු නායක සුනිල් ගවස්කාර්ට සංවිධායකයින් මෙල්බර්න් ක්‍රීඩාංගණයට එන ලෙස දන්වන්නේ කුසලානය එක්ක ඡායාරූප කිහිපයක් ගන්න.

ඡායාරූප ගන්න අතරේ ඉන්දියානු නායකයාට කිට්ටු කරපු මියැන්ඩෑඩ් සරදම් සහගතව මෙහෙම කිව්වා.

අද දවසේ ඕක තියාගෙන ඇති වෙනකල් ෆොටෝ ගනින්. මොකද හෙට ඔය කප් එක තියෙන්නේ මගේ අතේ.”

පාකිස්තානු නායකයා තරගය ගැන කොයිතරම් අධිතක්සේරුවකින් ඉන්නවා ද කියලා තේරුම් ගන්න ගවස්කාර්ට අපහසු වුනේ නෑ.

මේ කතාවත් එක්ක ගවස්කාර්ගේ මතකය ඊට හරියටම අවුරුද්දකට කලින් දවසක් වෙත ඇදිලා ගියා.

එදා මම ගෙදර උදවියට කිව්වා ඊළඟ අවුරුද්දේ බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා ක්‍රිකට් මගේ අතේ තියාගෙන ඉන්නවා මම දැක්කා කියලා.

ගෙදර උදවිය ඒ වෙලාවේ පුදුමයෙන් වගේ මගේ දිහා බැලුවේ. මොකද මම සාමාන්‍යයෙන් ගෙදර දී ක්‍රිකට් ගැන කතා කරන්නේ නැති කෙනෙක්.

ජාවේඩ් අර කතාව කියපු වෙලාවේ මට ගෙදර අය එක්ක කතා කරපු දේ මතක් වුනා. ඒ වගේම කොහොමහරි කප් එක දිනන්න ඕන කියන සිතිවිල්ලත් ආවා.”

ඡායාරූප ගැනීමෙන් අනතුරුව පාකිස්තානු නායකයා නැවත කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයට ගිය අතර ඉන්දියානු නායකයා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් සමඟ විදුලි ආලෝකය යටතේ පුරුදු පුහුණු වීමට මෙල්බර්න් ක්‍රීඩාංගණයේම රැඳී සිටියා.

ආපහු හෝටලේට එන අතරේ මට හිතුණා ටීම් එකක් විදියට අපි හොඳ ප්‍රැක්ටිස් සෙෂන් එකක් ඉවර කළා කියලා.

පහුවදා උදේ නැගිටිද්දී කාමරේ දොරට යටින් දාල තිබුණ නෝට් එකක් දැකලා මම පොඩ්ඩක් ගැස්සිලා ගියා.

ඒක දාලා තිබුණේ මොහින්දර් අමර්නාත්.

‘ඩොක්ටර් කෙනෙක් ඕන’

මම කලබල වුනේ ජිමීට (මොහින්දර් අමර්නාත්) කරදරයක් වෙලා ඇති කියලා.

ඒත් ඇත්තටම දොස්තර කෙනෙක් ඕන වෙලා තිබුණේ රොජර් බිනීට. රොජර්ට හොඳටම උණ. තරගය පටන් ගන්න තව පැය පහයි. දොස්තර කෙනෙක් ඇවිත් රොජර්ව පරීක්ෂා කරලා බැලුවා. ඒත් එයාට ඇඳෙන් නැගිට ගන්නවවත් බෑ.

රොජර්ට සෙල්ලම් කරන්න බැරි වුනොත් මැච් එක ගහන්න ලෑස්ති වෙලා ඉන්න කියලා මම චේතන් ෂර්මාට කිව්වා.

අන්තිම වතාවට අපි මැනේජර්ගේ කාමරේට ගිහින් කතාබහ කළේ පාකිස්තානු කණ්ඩායමේ තනි තනි ක්‍රීඩකයින්ගේ දුර්වලතා මොනවද කියලා.

පාකිස්තානුවන් මේ අවසන් මහා තරගය බොහොම සැහැල්ලුවෙන් ගන්න බව මේ වෙද්දී අපිට හොඳටම තේරිලා තිබුණේ.

ග්‍රවුන්ඩ් එකට යන්න පිටත් වෙන්න හොටෙල් එකේ ලොබි එකට එද්දී ඉන්දියානු ජාතිකයෝ විශාල පිරිසක් එතැනට ඇවිත් හිටියා අපිට සුබ පතන්න. ඒ බොහෝමයක් අය සිංගප්පූරුව, ෆීජි වගේ රටවල්වලින් ආපු අය. ඒ වගේ පාකිස්තානයට සහයෝගය දෙන අයත් ඇවිත් හිටියා.

මැච් එක පටන් ගන්න කාසියේ කාසිය දාන්න ප්ලෑන් කරලා තිබුණේ චැනල් 9 විස්තර විචාරකයෙක් ඉදිරිපිට. ඉයන් චැපල් තමයි ඒ වැඩේට ලෑස්ති වෙලා හිටියේ.

තරගය පටන් ගන්න විනාඩි තිහකට විතර කලින් මම  ජාවේඩ් එක්ක ග්‍රවුන්ඩ් එක මැද්දට ගියා. යන්න කලින් මැච් එක බලන්න ආපු ප්‍රේක්ෂකයින්ට සමරු අත්සන් කිහිපයක් දෙන්නත් අපි අමතක කළේ නෑ.

සුපුරුදු විදියට ටොස් එක දාලා ටීම්ස් කැප්ටන්ලා දෙන්නා මොකද කරන්නේ, තරගය ගැන මොකද හිතන්නේ කියලා අහන ජොබ් එක තමයි චැපේලිට (ඉයන් චැපල්) කරන්න තිබුණේ.

නමුත් මැච් එක පටන් ගන්න විනාඩි විස්සක් තියෙද්දීත් චැපේලි පේන්න හිටියේ නෑ.

මැච් එක ආවරණය කරපු චැනල් 9 රූපවාහිනී සෙට් එකට අපි දෙන්නා පොඩි විහිළුවක් කරන්න හිතුවා.

මම ජාවේඩ් එක්ක පිට්ටනිය මැද්දට ඇවිදගෙන ගිහින් බොරුවට කාසියක් උඩ දානවා වගේ පෙන්නුවා. ජාවේඩ් නැමිලා කාසිය අහුලා ගන්නවා වගේ පෙන්නුවා. ඒත් එක්කම අපි දෙන්නම ටොස් එක දිනුවා වගේ අත් උස්සලා සෙලිබ්‍රේට් කරනවා ආකාරයකුත් පෙන්නුම් කළා.

අවසන් මහා තරගයේ කාසියේ වාසිය දාන්න විශේෂ කාසියක් සංවිධායකයින් නිර්මාණය කරලා තිබුණා. චැනල් 9 කැමරාකරුවන් අපි කරපු දෙයින් සෑහෙන බය වෙලා හිටියේ. එකක් ඉයන් චැපල් එක්ක කරන ඉන්ටර්විව් එක එයාලට මිස් වෙච්ච එක. අනික ටොස් එක දාන්න හිතාගෙන හිටපු විශේෂ කාසිය තාම එයාගේ අතේ වීම.

අපි කළේ විහිළුවක් කියල දැනගත්තාම තමයි ඔක්කොම අයගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.”

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා. නමුත් ඉන්දියානු පන්දු යවන්නන්ගෙන් මුල සිටම පාකිස්තානු පිතිකරුවන්ට කිසිම බුරුලක් ලැබුණේ නැහැ.

පාකිස්තානුවන් කාසියේ වාසිය දිනලා බැට් කරනවා කිව්වාම අපේ කණ්ඩායමේ උදවියට පුදුමාකාර සතුටක් ආවේ. සම්බාහන මේසයක් උඩ වැතිරිලා අමාරුවෙන් හිටපු රොජර්ගේ මූණේ කිසිම සතුටක් තිබුණේ නැහැ. මැච් එක මිස් වෙන එක ගැන ඔහු බොහොම කනගාටුවෙන් හිටියේ. රොජර් වගේ ශක්තිමත් දේහදාරි මනුස්සයෙක් උණ හැදිලා ඒ විදියට වැටිලා ඉන්නවා දකින එකත් පුදුමයක්.”

තමන්ගේ පන්දුවාර 50 අවසානයේ පාකිස්තානුවන්ට ලබා ගන්න පුළුවන් වුනේ කඩුලු 9ක් දැවී ලකුණු 177ක් පමණයි. නායක ජාවේඩ් මියැන්ඩෑඩ් ලකුණු 48ක් රැස් කළා. මියැන්ඩෑඩ් දැවී ගියේ ලක්ෂ්මන් සිවරාමක්‍රිෂ්ණන් එවූ අනර්ඝ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ලක් වීමෙන්.

බෙන්සන් සහ හෙජස් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය ජය ගත් ඉන්දියානු කණ්ඩායම.

පාකිස්තානුවන් දුන් ඉලක්කය ඉන්දියානු පිතිකරුවන් සපුරා ගන්නේ පන්දුවාර 47.1 ඇතුළත. කඩුලු දෙකක් පමණක් දැවී ඉන්දියානුවන් ජයග්‍රහණය ලබන විට ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කළ රවී ශාස්ත්‍රී නොදැවී ලකුණු 63ක් ලබා සිටියා.

ශාස්ත්‍රී සමඟ පළමු කඩුල්ලට අනගි සම්බන්ධතාවයක් ගොඩ නගපු ක්‍රිෂ්ණමචාරී ශ්‍රීකාන්ත් අවසන් තරගයේ වීරයා වුනා. එදා තරගාවලියේ වීරයා වුනේ රවී ශාස්ත්‍රී. ඔහුට එදා අවුඩි වර්ගයේ මෝටර් රථයක් හිමි වුනා.

එදා මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී ඉන්දියානුවන් විසින් සිය ප්‍රතිමල්ලවයා වූ පාකිස්තානයට සහ ප්‍රතිවාදීන් අවතක්සේරු කළ පාකිස්තානු නායකයාට කියා දුන්නේ කදිම පාඩමක්.

සුනිල් ගවස්කාර්ගේ The Sunil Gavaskar Omnibus ඇසුරෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<