ලිං පතුලෙන් ගොඩ එන්නට වෙර දරන CH & FC ක්‍රීඩා සමාජයේ වල ගොඩැලි සහිත ගමන් මාර්ගය තවත් පරාජයකින් කඩතොළු කරන්නට යුධ හමුදා ක්‍රීඩකයන් සමත් විය. මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වරට සිය නිල සත්කාරක ක්‍රීඩාංගනය වන දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ තරඟ වැදුණු යුධ භටයන් CH & FC කණ්ඩායම මෙම තරග වාරයේ නොකඩවා ලද 9 වන පරාජය ලකුණු 43 – 08ක් ලෙස සටහන් කරන්නට පියවර ගත්තේ බෝනස් ලකුණක් ද තමන් සතු කර ගනිමිනුයි.

පසුගිය ලිපි: ගුවන් භටයන්ට ප්‍රබල සටනක් දී නාවිකයන් ජය ගනියි

මෙවන් දැවැන්ත ලකුණු පරතරයක් මෙවර තරඟ වාරයේදී CH & FC කණ්ඩායමට එරෙහිව දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ. කෙසේවෙතත් පළමු වටය තුලදී මෙම කණ්ඩායම් දෙක තරඟ වැදුණු අවස්ථාවේ වඩාත් උණුසුම් තරඟයක් දක්නට ලැබුණි. අවසානයේ යුධ හමුදාව එම තරඟය ජයගත්තද CH & FC කණ්ඩායම එහිදී ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. නමුත් එතැන් පටන් මේ වනතෙක් කිසිදු කණ්ඩායමකට අභියෝග කරන්නට ඔවුන් සමත් වූයේ නැත.

සංචාරක CH කණ්ඩායම තරඟය ආරම්භ කලේ හුරුපුරුදු මුහුණක් තම කණ්ඩායමට එක් කර ගනිමිනුයි. යෝෂිත රාජපක්ෂ පළමු වරට මෙවර තරගාවලිය සඳහා ඔහුගේ සොයුරු රෝහිත සමඟින් එක්ව තරගයට සහභාගී විය. තරඟ ආරම්භයේදී කණ්ඩායම් දෙකම දක්ෂ ලෙස ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුනත් CH & FC කණ්ඩායමට තම සුපුරුදු දුර්වල තරඟ රටාවට පිවිසෙන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. 7 වන මිනිත්තුවේදී සම්පත් රෝසා CH ආරක්ෂාව බිඳ දමන්නට සමත් වූ අතර යුධ හමුදාව වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කලේ නාලක මධුරංග විසිනුයි. (යුධ හමුදාව 05 – CH & FC 00)

ඉන් මිනිත්තු 10කට පමණ පසු යුධ භටයන් තවත් ලකුණු 7ක් තම ලකුණු පුවරුවට එකතු කලේ මනෝජ් බණ්ඩාර විසින් වාර්තා කරන ලද උත්සාහක දිනුමක් සාර්ථකව ප්‍රවර්තනය කරමිනුයි. යුධ හමුදාව වේගවත් තරඟ රටාවක් අනුගමනය කරද්දී CH & FC කණ්ඩායම සැමවිටම ඊට අඩියක් පසුපසින් සිටින බවක් දක්නට ලැබුණි. කෙසේ වෙතත් 24 වන මිනිත්තුවේදී රෝහිත රාජපක්ෂ සාර්ථකව එල්ල කල දඬුවම් පහරකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට ඔවුන්ට හැකිවිය. (යුධ හමුදාව 12 – CH & FC 03)

යුධ හමුදා ක්‍රීඩකයන් පළමු අර්ධයේ අවසන් මිනිත්තු 15ක පමණ කාලය තුල තවත් උත්සාහක දිනුම් 3ක් වාර්තා කලේ පළමු අර්ධය තුලදීම බෝනස් ලකුණක අයිතියද තහවුරු කර ගනිමිනුයි. නායක මනෝජ් ද සිල්වා ඒ අතරින් පළමු උත්සාහක දිනුමට හිමිකම් කීවේ ප්‍රතිවාදී මීටර් 22 සීමාව තුලදී විශිෂ්ඨ පාද චලනයකින් CH & FC ආරක්ෂකයන් මුලා කර පන්දුව ගෝල සීමාව වෙත ගෙන යමිනුයි. උපුල් අබේරත්න සහ සමීර වික්‍රමනායක අනෙක් උත්සාහක දිනුම් දෙකේ හිමිකරුවන් බවට පත්වූ අතර අවසන් අවස්ථා තුනෙන් දෙකක් සාර්ථකව ප්‍රවර්තනය කරන්නටද යුධ හමුදා ක්‍රීඩකයන්ට හැකි විය.

පළමු අර්ධයේ තත්ත්වය : යුධ හමුදා ක්‍රී. ස. 31 – CH & FC ක්‍රී.ස 03

විවේකයෙන් පසු නැවත තරඟය ආරම්භ වීමත් සමඟ CH & FC කණ්ඩායම තම ආක්‍රමණය දැඩි කර ඇති බවක් දක්නට ලබුණි. දෙවන අර්ධයේ වැඩි කාලයක් ගත වීමට මත්තෙන් CH කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට 2016/17 තරඟ වාරයේ පළමු තරගයට ක්‍රීඩා කල යෝෂිත රාජපක්ෂ සමත් විය. අවාසනාවන්ත ලෙස එහි ප්‍රවර්තනය කනිෂ්ඨ රාජපක්ෂ සොහොයුරාගෙන් ගිලිහී යන ලදී. කෙසේවෙතත් CH & FC කණ්ඩායමට අවශ්‍යම ආකාරයට දෙවන අර්ධයේ ආරම්භය සනිටුහන් විය. (යුධ හමුදාව 31 – CH & FC 08)

CH & FC කණ්ඩායම යුධ හමුදාවට තර්ජනයක් එල්ල කරනු ඇතැයි ඇතැමුන් තුල විශ්වාසයක් ගොඩනැගීමට පටන් ගන්නා විටම ඔවුන් නැවතත් තරගය ගිලිහී යාමට ඉඩ ලබා දීම ආරම්භ කරන ලදී. දෙවන අර්ධයේ පළමු මිනිත්තු 25 තුල ප්‍රබල සටනක් දෙමින් යුධ හමුදා ලකුණු පුවරුව ඉහල යාම වලකා දැමු CH & FC ක්‍රීඩකයන් වෙහෙසට පත් වත්ම, වේගවත් යුධ හමුදා ක්‍රීඩකයන් පාලනය කිරීමේ හැකියාව ඔවුන්ගෙන් වියැකී යන ලදී.

වෙහෙසට පත් CH & FC කණ්ඩායමේ ආරක්ෂාව බිඳ දමමින් මීටර් 40ක පමණ දුරක් දිවගිය අශාන් බණ්ඩාර යුධ හමුදාවේ 6 වන උත්සාහක දිනුම වාර්තා කල අතර එය සාර්ථකව ප්‍රවර්තනය කලේ චමත් ප්‍රනාන්දු විසිනුයි. අශාන් මෙම තරඟයේදී යුධ හමුදා ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ලෙස අගනා වගකීමක් ඉටු කලේ ලකුණු 11ක් තම නම ඉදිරියේ සටහන් කර ගනිමිනුයි. (යුධ හමුදාව 38 – CH & FC 08)

70 වන මිනිත්තුවේදී යුධ හමුදාව 7 වන උත්සාහක දිනුමද වාර්තා කල අතර මෙවර ලකුණු ලාභියා වූයේ අරවින්ද කරුණාරත්නයි. සුපුරුදු පරිදි මෙයද CH & FC කණ්ඩායමට බියකරු සිහිනයක් බඳු උත්සාහයක් වූ අතර 73 වන මිනිත්තුවේදී අනතුරුදායක ක්‍රීඩා විලාශයක් හේතුවෙන් නිස්මි නිලාර් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයා පියවර ගන්නා ලදී. කෙසේවෙතත් ක්‍රීඩකයෙකු අහිමිවීම CH කණ්ඩායමට වැඩි පාඩුවක් නොවුනේ තරගයේ ලකුණු තත්ත්වය තවදුරටත් නොවෙනස්ව පැවතීම මෙන්ම ඒ වන විටත් පරාජයේ ජල මට්ටම ඔවුන්ගේ හිසටත් උඩින් ගොස් අවසන් වීම නිසාවෙනුයි.

අවසන් ලකුණු තත්ත්වය : යුධ හමුදා ක්‍රීඩා සමාජය  43 – CH & FC ක්‍රීඩා සමාජය 08

ThePapare.com තරගයේ වීරයා : අශාන් බණ්ඩාර (යුධ හමුදා ක්‍රී. ස.)

ලකුණු ලබාගත් ක්‍රීඩකයන්:

යුධ හමුදාව –

අශාන් බණ්ඩාර (උත්සාහක දිනුම් – 1, ප්‍රවර්තන – 3), මනෝජ් ද සිල්වා (උත්සාහක දිනුම් – 1), අරවින්ද කරුණාරත්න (උත්සාහක දිනුම් – 1), චමත් ප්‍රනාන්දු (ප්‍රවර්තන – 2), නාලක මධුරංග (උත්සාහක දිනුම් – 1), මනෝජ් බණ්ඩාර (උත්සාහක දිනුම් – 1), උපුල් අබේරත්න (උත්සාහක දිනුම් – 1)

CH & FC ක්‍රී. ස. –

යෝෂිත රාජපක්ෂ (උත්සාහක දිනුම් – 1), රෝහිත රාජපක්ෂ (දඬුවම් පහර – 1)

ThePapare.com වෙත අදහස් දැක්වූ යුධ හමුදා කණ්ඩායමේ අශාන් බණ්ඩාර:

”ඉතාම සතුටුයි අද අපි සියලු දෙනාම එකා මෙන් ක්‍රීඩා කළා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි තරඟ වලදීත් මේ වගේම ක්‍රීඩා කරන්න. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තවමත් ආබාධ වලින් සුවය ලබමින් සිටිනවා. ඔවුන් නැවත ක්‍රීඩා කරන්න සුදුසු තත්ත්වයට පත් වූ විට අපිට මේ ලීග් තරගාවලිය තුල ඉතා හොඳ සටනක් දෙන්න හැකියාව ලැබෙයි කියලා මට විශ්වාසයි.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට