ආසියානු කුසලානය සහ ඕස්ට්‍රේලියා සංචාරවලට මොකද වෙන්නේ?

408

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තිබෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණය මේ මාසය අවසානයේ දී ලබා දීමට නියමිත බව වාර්තා වනවා. එමෙන්ම ජුනි – ජූලි මාසවල දී පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳවත් දැඩි අවිනිශ්චිත බවක් පවතින බව Cricbuzz පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ශ්‍රී ලංකාවේ ඇති වූ කලහකාරී තත්වය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා හා ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වාගෙන් විමසා ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් Cricbuzz වෙත පවසා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ මාසය අවසානයේ පැවැත්වීමට නියමිත IPL අවසන් මහා තරගය සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතයි. ඉන්පසුව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර අවසන් තීරණය එහි දී ගැනීමට ඉඩ තිබෙනවා”, ඉහත කී පුද්ගලයා සඳහන් කර තිබුණා.

ආසියානු කුසලානය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිතව අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයට එම තරගාවලිය එක්සත් අරාබි එමීර් වෙත රැගෙන යන්නට නොහැකි වන්නේ එම මාසය තුළ එහි පවතින අධික උෂ්ණත්වය නිසයි. ඉන්දු – පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රික ගැටලු නිසා එම තරගාවලිය වෙනත් රටකට ද ගෙන යාමට ද ඉතා අපහසුයි.

මේ අතර එළඹෙන මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් එම ගමන පිළිබඳව නැවත විමසා බලන තත්වයකට පත්ව තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකාවේ නවතම තත්වය පිළිබඳව ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබෙන අතර එම දෙපාර්තමේන්තුව මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම පිළිබඳව අවදානම් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවත් සති තුනකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඔවුන් විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකයෙක් සඳහන් කර තිබුණේ තරගාවලිය දැනට සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවයි.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<