සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සුපිරි වටයට පිවිසෙයි

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය 2022

312

Dialog අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගයෙන් ලකුණු 35-20ක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරන්නට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා.

තරගය පැවැත්වුණේ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දීයි. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය පහසුවෙන් සුපිරි කණ්ඩායම් 4 වටයට ද පිවිසුණා.

සාන්ත ජෝසප් කණ්ඩායම වෙනස්කම් හතරක් ද, සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනස්කම් තුනක් ද සමඟින් මෙම තරගයට පිවිසුණා.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමුවෙන් ලකුණු රැස් කරන්නට සමත් වුනා. Zaky Jeffrey උත්සාහක දිනුමකින් ලකුණු රැස් කරද්දී, සහන් කීර්තිසිරි දඬුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් වුනා. (සාන්ත ජෝසප් 00-08 සාන්ත අන්තෝනි)

අනතුරුව සාන්ත ජෝසප් ක්‍රීඩකයින් උත්සාහක දිනුම් ද්විත්වයක්ම රැස් කරන්නට සමත් වුනා. දේශාන් තාරුක හා චමෝද් සෙනෙවිරත්න එම උත්සාහක දිනුම් ද්විත්වයට හිමිකම් කී අතර එහි ප්‍රවර්තන නම් සාර්ථක කරගන්නට දිල්හාර සුභාෂ් සමත් වුනේ නැහැ. (සාන්ත ජෝසප් 10-08 සාන්ත අන්තෝනි)

කීර්තිසිරි තවත් දඬුවම් පහර තුනක් සාර්ථක කරගන්නට සමත් වෙද්දී, සාන්ත ජෝසප් Wing ක්‍රීඩක ශානුක අලහකෝන් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වුනා.

පළමු අර්ධය: සාන්ත ජෝසප් විද්‍යාලය 10 (2T) – 17 (1T 4P) සාන්ත අන්තෝනි විද්‍යාලය

දෙවැනි අර්ධයේ ප්‍රබල ක්‍රීඩා විලාසයක් දියත් කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වුනා. දෙවැනි අර්ධයේ ඔවුන් උත්සාහක දිනුම් පහක් රැස් කළේ සාන්ත අන්තෝනි කණ්ඩායම අන්දමන්ද කරමිනුයි.

චමෝද් සෙනෙවිරත්න, මන්දාර අමරසේකර, මිනිඳු පතිරණ, ජෙහාන් අතුකෝරල හා සිතිජ සංජීව සාන්ත ජෝසප් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්තා කළා. දිල්හාර සුභාෂ්, ඉසුරු කාංචන හා රුචිත රොද්‍රිගෝ එම උත්සාහක දිනුම්වල ප්‍රවර්තන සාර්ථක කරගන්නට උත්සහ කළත් ඔවුන් සියලු දෙනාම අසාර්ථක වීම විශේෂත්වයක්.

සාන්ත අන්තෝනි විද්‍යාලය අවසන් මොහොතේ දඬුවම් පහරක් රැස් කරගන්නට සමත් වුනත් එම දඬුවම් පහර තරගයේ ජය ආපසු හරවන්නට ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ අනුව සාන්ත ජෝසප් විද්‍යාලය සුපිරි කණ්ඩායම් 4 වටයට පිවිසුණු අතර ඔවුන් සුපිරි වටයේ දී, 2A කාණ්ඩයේ පළමු තැන දිනූ ඉසිපතන විද්‍යාලය සමඟ තරග කිරීමට නියමිතයි.

අවසාන ලකුණු තත්වය: සාන්ත ජෝසප් විද්‍යාලය 35 (7T) – 20 (1T 5P) සාන්ත අන්තෝනි විද්‍යාලය

  • NDB තරගයේ වීරයා: සචින්තන වෛද්‍යනාත (සාන්ත ජෝසප්)

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • සාන්ත ජෝසප් – චමෝද් සෙනෙවිරත්න, මන්දාර අමරසේකර, මිනිඳු පතිරණ, ජෙහාන් අතුකෝරාල, සිතිජ සංජීව, දේශාන් තාරුක හා චමෝද් සෙනෙවිරත්න එක් උත්සාහක දිනුම බැගින්.
  • සාන්ත අන්තෝනි – Zaky Jeffrey 1T, සහන් කීර්තිසිරි 5P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<