IPL කණ්ඩායම් හිමිකරුවන්ගේ ගැටලුවට BCCIයෙන් උත්තර

2984
ඡායාරූප අයිතිය - IPL නිල වෙබ් අඩවිය

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් ගොඩනැගී ඇති බව පසුගිය දා මාධ්‍ය කීපයක් වාර්තා කර තිබුණි. එහි දී ඉන්දීය පුවත්පතක් වන Times of India පුවත්පත හිමිකරුවන් මූලික වශයෙන් පිළිතුරු බලාපොරොත්තු වන ගැටලු කීපයක් පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කළේය.

ගැටලු කිහිපයක් නිසාවෙන් IPL හිමිකරුවන් කනස්සල්ලෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය එළඹෙන සෙනසුරාදා දුරකථන මාර්ගයෙන් රැස්වීමට නියමිත අතර එම රැස්වීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රාථමික පාර්ශවකරුවන් වන කණ්ඩායම් හිමිකරුවන්, විකාශකයින් සහ මධ්‍යම අනුග්‍රාහකයන් සමඟ එළඹෙන ඉරිදා සහ සඳුදා රැස්වීමක් පැවැත්වීමට ඔවුන් සැලසුම් කර තිබේ. 

මෙම රැස්වීම්වලින් අනතුරුව සැප්තැම්බර් 19 සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලිය සඳහා වන අවසාන සැලැස්ම එළිදැක්වීමට නියමිත බව ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය පවසා ඇත. ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය මේ සම්බන්ධයෙන් Times of India පුවත්පත සමඟින් අදහස් දක්වා තිබේ.

Times of India පුවත්පත එහි දී කණ්ඩායම් හිමිකරුවන් විමසා සිටි ගැටලු කීපයක් ද එම ආයතන වලින් විමසා තිබේ. ඒ අනුව මීට පෙර පළවූ වාර්තාවේ සඳහන්ව තිබූ ගැටලු කීපයක් පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය අදහස් පල කළේය.

ජෛව ආරක්‍ෂිත වටපිටාව

සෑම කණ්ඩායමකම හිමිකරුවන් තමන්ගේම ජෛව ආරක්ෂක වටපිටාවක් නිර්මාණය කළ යුතුය. ඒ අනුව කණ්ඩායම ඔවුන්ගේ ජෛව ආරක්ෂක පද්ධතියේ සීමිත පිරිසක් සමඟ පමණක් කටයුතු කරනු ඇත. මීට අමතරව ඉන්දීය ක්‍රිකට් ආයතනය, IMG කාර්ය මණ්ඩලය හා තරගාවලි විකාශකයින් සඳහා ද ඒ හා සමාන ජෛව ආරක්ෂක පද්ධතියක් නිර්මාණය වනු ඇත. එලෙස ආරක්ෂක වටපිටාවක් තුලට ඇතුල් වූ පසු ඔවුන් කිසිවෙකුට ඉන් පිටත පුද්ගලයෙකුට නිරාවරණය වීමට අවසර නොලැබේ. කලින් අවසර ගෙන ඇති රැස්වීම් හෝ සාකච්ඡා සඳහා පමණක් අවසර ලැබේ. 

ආදායම් බෙදී යාම 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පැවැත්වීමට නියමිත තරග 60ම පෙර සැලසුම් කළ පරිදි දින 51ක් තුළ පැවැත්වෙන බැවින් ඉන්දීය ක්‍රිකට් ආයතනයට මෙම තරගාවලිය තුලින් ලැබෙන මධ්‍යම ආදායම් සංචිත බෙදා හැරීමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇත.

Kohliගේ අසාර්ථකත්වය මකා දැමූ Shastriගේ උපදෙස

ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇණහිටීම නිසා ඇතිවන පාඩුව

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අවලංගු වූයේ නම් මෙම කණ්ඩායම් හිමිකරුවන් සඳහා කිසිදු ආදායමක් නොලැබීමට ඉඩ තිබූ බවත්, ඒ නිසා ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායම නොසලකා හැරීමට සිදුවන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පවසා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ක්‍රීඩකයන් හා සෙසු නිලධාරීන් පැමිණීම සහ ඔවුන්ට නවාතැන් ලබා දීම 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුල නවාතැන් ගැනීමේ දී තමන්ට අවශ්‍ය වන හෝටල් කාමර වෙන්කරගැනීම මුළුමනින්ම කණ්ඩායම් හිමිකරුවන් හට පැවරෙන වගකීමකි. එලෙස හෝටල් වෙන්කර ගැනීමේ දී යම් කිසි වට්ටම් සහිත වෙන්කර ගැනීමක් පිළිබඳව ඇති හැකියාව සොයා බැලීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් සාකච්ඡා කිරීමට නියමිතය.

එම සාකච්ඡාවල ප්‍රතිඵල කණ්ඩායම් හිමිකරුවන් හට හැකි ඉක්මනින් දැනුම් දෙනු ඇත. කෙසේ වෙතත් එහි දී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ලබා දෙන විකල්ප පිළිගැනීම හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් හට පූර්ණ අයිතිය හිමි වේ. 

මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වෙන ආකාරයටම තම කණ්ඩායමේ ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන ඒම හා නැවත ඔවුන් සිය රටවල්වලට රැගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන්ම හිමිකරුවන් හට පැවරේ.

වෛද්‍ය සහය

එක් එක් කණ්ඩායම් විසින් ඔවුන්ගේම වෛද්‍ය කණ්ඩායම් ස්ථාපිත කරගත යුතුය. ඊට අමතරව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ද ප්‍රධාන වෛද්‍ය කණ්ඩායමක් තරගාවලිය සඳහා එක්කිරීමට නියමිතය. ක්‍රීඩකයන් හා සෙසු සහායක කාර්ය මණ්ඩලය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණීමෙන් අනතුරුව ඔවුන්ගේ සම්පූර්ණ වගකීම හිමිවන්නේ කණ්ඩායම් හිමිකරුවන් හටය. එක් එක් වෛද්‍ය කණ්ඩායම් දවසේ පැය 24 පුරාම ප්‍රධාන වෛද්‍ය කණ්ඩායම සමඟ සම්බන්ධතා තබා ගත යුතුය. 

එමෙන්ම එක් එක් කණ්ඩායම් සඳහා සිටින වෛද්‍ය කණ්ඩායම ක්‍රීඩකයන් හා නිලධාරීන් සමඟින් ජෛව ආරක්ෂක වටපිටාව තුළ රැඳී සිටිය යුතුය.

ක්‍රීඩකයන් ආදේශ කිරීම සහ ඉවත් කිරීම

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මීට පෙර අනුගමනය කළ ක්‍රීඩක ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් සිදු නොවන අතර අවසාන මොහොතේ ක්‍රීඩකයන් ආදේශ කිරීම වළක්වා ගැනීම සඳහා අමතර ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් කණ්ඩායමට එක් කරගැනීමට හිමිකරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.  

මෙම ප්‍රතිපත්ති පිළිබඳ කෙටුම්පතක් පිළියෙල කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටී. එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන රැස්වීමේ දී ඒ පිළිබඳව සාකච්ඡා කර පසුව එක් එක් කණ්ඩායම් වෙත ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමට නියමිතය. 

“අපි තරගාවලිය පවත්වන ආකාරය ගැන කණ්ඩායම්වලට නිල වශයෙන් දැනුම් දුන්නට පස්සේ යම් යම් ගැටලු ඇතිවෙන්න පුළුවන්. අපි ඒකට සූදානමෙන් ඉන්නේ. ඒත් මේ තත්ත්වය එක්ක තරගාවලිය පවත්වන්න නම් අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ” ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලයේ සභාපති බ්‍රිජේෂ් පටෙල් පැවසීය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මාර්තු මස 29 වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතව තිබුණි. නමුත් පැතිර ගිය වසංගත තත්ත්වය හමුවේ එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සංවිධායකයන් තීරණය කළේය.

බ්‍රෝඩ් 500 සීමාව කරමින් එංගලන්තයට ආවේණික ජයක්

එහෙත් මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී ආරම්භ වීමට සැලසුම් කර තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පසුගිය දා තීරණය කිරීමත් සමඟින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එම කාල රාමුව තුල පවත්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී නිවේදනය කළේය. 

ඉන්දියාව මෙම කොරෝනා වයිරසය නිසා ආසියාව තුල වැඩිම බලපෑමට ලක්වූ රට වන අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.4 ද ඉක්මවා තිබේ.

Times of India හා CRICBUZZ ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<