ගැටලු කිහිපයක් නිසාවෙන් IPL හිමිකරුවන් කනස්සල්ලෙන්

2065

2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය හා ප්‍රිමියර් ලීග් කණ්ඩායම් හිමිකරුවන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් ඇතිව තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ දී ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය, ඇතිවූ කොරෝනා වයිරසයත් සමඟින් දෙවතාවක්ම කල්දැමීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයට සිදු විය. 

කෙසේ වෙතත් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල්දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කිරීමත් සමඟින් එම කාල රාමුව තුල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට තමන් සූදානම් බව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශ කළේය.

2020 IPL සත්කාරකත්වය තීන්දුයි

එම ප්‍රකාශයෙන් පසුව තරගාවලිය පිළිබඳව ගැටලු රැසක් ඇති බව ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් පවසා ඇත. තරගාවලිය ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම පරිබාහිරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම නිසා ඒ පිළිබඳව ඉක්මනින් විසඳා ගත යුතු ගැටලු පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍යය ද තම අවධානය යොමුකර තිබුණි. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 8 දක්වා පවත්වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ මීට දින කීපයකට පෙරය. එම කාල රාමුව කිසිදු හේතුවක් මත වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් ද පවතින බව ඔවුන් ප්‍රකාශ කළේය.

තරගාවලිය පැවැත්වීමේ සැලසුම් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති වීම නිසා තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ. 

ඉන්දීය පුවත්පතක් වන Times of India පුවත්පත මේ සම්බන්ධයෙන් කණ්ඩායම් හිමිකරුවන් හා නිලධාරීන් සමඟ සාකච්ඡා කර ඔවුන් මෙම තරගාවලිය සම්බන්ධයෙන් දරන ආකල්පය පිළිබඳව වාර්තා කර තිබුණි. එහි දී එම නිලධාරීන් විසින් ඔවුන්ට දැනගැනීමට අවශ්‍ය මූලික සැලසුම් පිළිබඳව අදහස් දක්වා තිබුණි. 

Times of India පුවත්පතේ වාර්තාවට අනුව එම කණ්ඩායම් හිමිකරුවන් හා නිලධාරීන් ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් විමසා සිටින මූලික ගැටලු මෙසේයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය හා කණ්ඩායම් හිමිකරුවන් අතර රැස්වීම.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පාලක මණ්ඩලය කණ්ඩායම් හිමිකරුවන් සමඟින් තරගාවලිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දිනයක් තවමත් සැලසුම් කර නැත. කණ්ඩායම් හිමිකරුවන් හා සංවිධායකයන් සියල්ල එකම මතයක නොසිටින්නේ නම් තරගාවලිය පැවැත්වීම අතිශයින්ම අසීරු වනු ඇත. 

ඒ සඳහා ඵලදායි සන්නිවේදනය වඩාත් වැදගත් අංගයක් වේ. කණ්ඩායම් හිමිකරුවන් පවසන පරිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වන විටත් පරක්කු වී ඇත.

දින, ස්ථානය සහ තරග කාලසටහන නිල වශයෙන් තහවුරු කිරීම.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය විටින් විට කල්දැමීමත් සමඟින් කණ්ඩායම්වල අනුග්‍රාහකත්වය පිළිබඳව යම් යම් ගැටලු උද්ගත වී තිබුණි. කෙසේ වෙතත්, මෙම වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රේක්ෂකයන් නොමැතිව රූපවාහිනියට පමණක් සීමා වූ තරගාවලියක් බවත්, එය එළඹෙන ඔක්තෝබර්-නොවැම්බර් මාසවල දී ඉන්දියාවෙන් පිටත දී පැවැත්වීමට නියමිත බවත් නිල වශයෙන් තහවුරු කිරීමත් සමඟින් එම අනුග්‍රාහක ගිවිසුම් නැවත බලගැන්වීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් නැවතත් සාකච්ඡා කරමින් සිටී. 

නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් තරගාවලියේ කාලසටහන හා ක්‍රීඩාංගණ පිළිබඳව තවමත් තහවුරු කර නොමැති වීම එම සාකච්ඡා සඳහා ප්‍රබල ගැටලුවක්ව පවතී.

කණ්ඩායම් හිමිකරුවන් පවසා සිටියේ තරගාවලිය පිළිබඳව අනුග්‍රාහකයන්ට විස්තරාත්මකව දැනුම් දිය යුතු බවත්, එම අනුග්‍රාහක ගනුදෙනු නැවත සකස් කළ යුතු වීම නිසා තරගාවලිය පිළිබඳව නිල කාලසටහනක් හා සෙසු සැලසුම් ඉක්මනින්ම අවශ්‍ය බවයි. අනුග්‍රාහකයන්ගේ රූපවාහිනී නිරාවරණය හා වෙළඳ නාම සඳහා ලබා ගත හැකි තිර කාලය වඩාත් සවිස්තරාත්මකව දැනුම් දිය යුතු බව ඔවුන්ගේ මතයයි.

ICC ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයට දින තීන්දුයි

ආදායම් බෙදී යාම, ප්‍රවේශ පත්‍ර සඳහා ගෙවනු ලබන වන්දි හා නවාතැන් ගැනීම සම්බන්ධ ගැටලු 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ දීර්ඝතම තරගාවලිය (දින 51) ලෙස මෙවර තරගාවලිය පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා තරග 60ක් ඇතුළත් වන අතර කණ්ඩායම් හිමිකරුවන් විකාශන අයිතීන්ගෙන් ලැබෙන ආදායම ද ඇතුළුව මධ්‍යම සංචිතයෙන් ආදායම් පෙර පරිදීම බෙදාහැරීමක් අපේක්ෂා කරති. 

මීට අමතරව සෑම තරගයක් සඳහාම ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම මෙවර ඉන්දීය රුපියල් කෝටි 2.5ත් 3.5ත් අතර ප්‍රමාණයකින් අහිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එනම් මෙවර තරගාවලිය තුල දල වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 20-25 අතර ප්‍රමාණයක් එම කණ්ඩායම් සඳහා අහිමි වනු ඇත. මේ සම්බන්ධයෙන් වන්දි ලබා දීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර නොමැත. 

එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඉන්දියාව තුල පැවැත්වෙන විට කණ්ඩායම් නිලධාරීන්ට නවාතැන් ගැනීම සඳහා හෝටල් වෙන්කරවා ගැනීමේ දී තරමක ලාබදායි ගිවිසුම් පවතී. නමුත් මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමත් සමඟින් ඒ සඳහා දැරිය යුතු අතිරේක වියදම් සාපේක්ෂව ඉහල යනු ඇත. 

තරගාවලිය පැවැත්වෙන කාලය තුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හෝටල් කාමර විශාල ප්‍රමාණයක් වෙන්කර ගැනීමට කණ්ඩායම් හිමිකරුවන්ට සිදු වනු ඇත. එහෙත් එම කණ්ඩායම්හි ආදායමට අනුව එලෙස වෙන්කරගැනීමේ දී මුහුණ දීමට සිදුවන පාඩුව අතිමහත්ය.

ක්‍රීඩකයන් සම්බන්ධ තොරතුරු හා නීති

තරගාවලිය ආරම්භ කිරීමට පෙර ඒ සඳහා සහභාගී වන ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විසඳා ගත යුතු ගැටලු රාශියක් පවතී.

තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගමන් ගන්නා ක්‍රීඩකයින්, එම ක්‍රීඩකයන්ගේ පවුලේ සාමාජිකයන්, ඉන්දියාවෙන් පිටත තරගාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයින්, යම් ක්‍රීඩකයෙකු තරගාවලියට සහභාගී නොවන්නේ නම් එහි දී වෙනත් ක්‍රීඩකයෙකු යොදාගැනීමේ ක්‍රියාවලිය, වෛද්‍ය හේතූන් මත ක්‍රීඩකයින් ආදේශ කිරීම, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ළඟා වූ පසු සිදු කරන ස්වයං නිරෝධායනයට සම්බන්ධ පොදු ප්‍රතිපත්ති නියමයන්, ක්‍රීඩකයන් හා සෙසු පුද්ගලයන් අනුගමනය කළ යුතු එදිනෙදා චර්යාවන් එම ගැටලු අතර වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ක්‍රීඩකයන් ගෙන යාම හා නැවත ගෙන ඒම කණ්ඩායම් හිමිකරුවන් සතු වගකීමකි. නමුත් එය ඵලදායි ලෙස සිදු කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉහත ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතු බව කණ්ඩායම් හිමිකරුවන් අවධාරණය කර තිබේ.

යුවරාජ් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දෙහි කපයි!

ජෛව සුරක්ෂිත වටපිටාව

තරගාවලිය සම්බන්ධයෙන් වැදගත්ම කරුණ වන්නේ එයට සම්බන්ධ සියලු දෙනාගේ ආරක්ෂාවයි. මූලික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් ආයතන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි සඳහන් කිරීමක් අවශ්‍ය බව කණ්ඩායම් හිමිකරුවන් පවසා සිටියේය.

කෙසේ වෙතත් තරගාවලිය පවත්වන බව නිල වශයෙන් නිවේදනය කිරීමත් සමඟින් කණ්ඩායම් හිමිකරුවන් තම නිලධාරීන්ගේ හා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන්ගේම සැලසුම් සකස් කරමින් සිටී. 

ඒ අනුව ඔවුන් දැනටමත් ඔවුන්ගේ කාර්ය මණ්ඩලය නිරෝධායනය වෙත යවා ඇති අතර තමන්ගේම වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සූදානම් කරමින්, වෙනත් කණ්ඩායම් කළමනාකරුවන් සමඟ සටහන් හුවමාරු කර ගනිමින්, ක්‍රීඩකයින් නිතිපතා දැනුවත් කරමින් සිටී. 

තමන්ගේ සනීපාරක්ෂාව හා සෞඛ්‍ය නීති පිළිපැදීම වැනි ක්‍රියාවලීන් පිළිබඳව ඔවුන් ස්වයං නීති සාකච්ඡා කරමින් සිටින අතර තම ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රීඩකයන් යුතු හා නොකළ යුතු දේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ද ආරම්භ කර ඇත.

කණ්ඩායම් හිමිකරුවන් පවසා සිටියේ තරගාවලිය තුල වැරැද්දක් සඳහා කිසිදු ඉඩක් තැබිය නොහැකි බවත්, එක් අත්වැරැද්දක් හෝ සිදුවුවහොත් මුළු ලීගයටම හානි විය හැකි බවයි.

මෙම ගැටලු සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය තවමත් නිල ප්‍රතිචාරයක් දක්වා නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<