වයස අවුරුදු 23න් පහළ පළාත් ක්‍රිකට් තරගාවලිය පසුගිය දා අවසන් වූයේ මධ්‍යම පළාත් කණ්ඩායම ශූරතාවයත්, බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම අනුශූරතාවයත් ජයග්‍රහණය කරමිනි. ඒ අනුව තරගාවලියේ දී විවිධ කණ්ඩායම්වල ක්‍රීඩකයින් දැක්වූ දක්‍ෂතා පදනම් කරගෙන තරගාවලියේ කණ්ඩායම තෝරා ගැනීමට ThePapare.com කටයුතු කළේය. එයට එක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ඇතුළුව පිතිකරුවන් 7 දෙනෙක් සහ ඉදිරිපෙළ පන්දු යවන්නන් 4 දෙනෙක් ඇතුළත් ය.

පළමු ඉනිමේ ජයක් සමඟින් ශූරතාවය මධ්‍යම පළාතට

බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම පරාජයට පත්කළ මධ්‍යම පළාත් කණ්ඩායම 23න් පහළ අන්තර් පළාත් ….

1.දිනෙත් තිමෝද්‍ය හේවාතන්ත්‍රී

Dineth‘Tamil Union’ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් වශයෙන් කටයුතු කරන වමත් පිතිකරු දිනෙත් මෙම තරගාවලියේ දී නියෝජනය කරනු ලැබුවේ උතුරු මැද පළාත් කණ්ඩායමයි. ඒ අනුව තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් ඔහු ලබාගත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 490කි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 81.67ක ඉතා ඉහළ අගයක් ගත් අතර එහි දී එක් ඉනිමක දී වාර්තා කර ගනු ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 136කි. එමෙන්ම ක්‍රීඩා කළ ඉනිම් හතේ දී ඔහු ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් ද වාර්තා කර ගත් අතර තරගාවලියේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස අප යෝජනා කරන පළමු ක්‍රීඩකයා ඔහු ය.

2.රොන් චන්ද්‍රගුප්ත (නායක)

Ron 2මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ වමත් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී CCC කණ්ඩායම වෙනුවෙන් ඉතා විශිෂ්ට අන්දමින් දස්කම් දක්වන්නට සමත් වූ අතර ඒ අනුව ඔහු එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම නියෝජනය කිරීමට ද වරම් ලැබීය. ඔහු මෙම තරගාවලියේ දී මධ්‍යම පළාත් කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දක්වා මෙහෙය වන්නට සමත් වූ අතර ඒ අනුව තරගාවලියේ කණ්ඩායමේ නායකයා ලෙස අප තෝරා ගන්නේ ඔහු ය. ඔහු එහි දී මුළු ලකුණු 285ක් වාර්තා කර ගත්තේ 40කට වැඩි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගෙනයමිනි. ඔහු එක් ඉනිමක දී රැස්කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 137කි. කෙසේ නමුත් ඔහු තරගාවලියේ අවසන් මහා තරගයේ දී බිනුර ප්‍රනාන්දු යොමු කළ පන්දුවක් හමුවේ අවාසනාවන්ත ලෙස ලකුණු ලබා ගැනීමට පෙර දැවී ගියේය.

3.ලියෝ ෆ්‍රැන්සිස්කෝ               

Leo Fansisco 3යුද හමුදා ක්‍රීඩා සමාජය නියෝජනය කරන වමත් පිතිකරු ලියෝ ෆ්‍රැන්සිස්කෝ ද ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී දස්කම් අතරට පැමිණි ක්‍රීඩකයෙකි. ඔහු මෙම තරගාවලියේ දී වයඹ පළාත් කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 295ක් ලබා ගත්තේ 49.17ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වාගෙන යමිනි. එහි දී ඔහු එක් ශතකයක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා කර ගත් අතර අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීමට සුදුසුම ක්‍රීඩකයා ලෙස අප තෝරා ගන්නේ ඔහු ය.

4.මිනෝද් භානුක රණසිංහ (කඩුලු රකින ක්‍රීඩක)

Minod Bhanukaශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම ද නියෝජනය කරන මිනෝද් භානුක මේ වන විට සිටින දක්‍ෂතම කඩුලු රකින පිතිකරණ ක්‍රීඩකයින්ගෙන් කෙනෙකි. කුරුණෑගල ප්‍රදේශයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි. ඔහු මෙම තරගාවලියේ දී ලකුණු 298ක් වාර්තා කර ගත් අතර එයට එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත් විය. එමෙන්ම ඔහු වයඹ පළාත් කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කළේය.

5.චරිත අසලංක

Charith Asalanka 4ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු වන වමත් පිතිකරු චරිත් මෙම තරගාවලියේ දී දකුණු පළාත් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළේය. එමෙන්ම ඔහු මෙම තරගාවලිය අවසන් කළේ තරගාවලියේ 3 වන වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි. ඔහු ඉනිම් 6ක දී ලකුණු 308ක් රස්කරගත්තේ 51.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. තරගාවලියේ දී ශතක 2ක් සහ එක් අර්ධ ශතකයක් ලබාගත් ඔහුගේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස සටහන් වූයේ ලකුණු 113කි. මේ වන විට SSC ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු පිටදඟපන්දු යවන්නෙක් වශයෙන් ද යොදා ගැනීමේ හැකියාව පවතී.

6.හිමාෂ ලියනගේ

Himasha Liyanage 6වේගවත් පිතිකරණ රටාවක් අනුගමනය කරන වමත් පිතිකරු හිමාෂ, තරගාවලියේ දී එක් ඉනිමක දී වාර්තා කර ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 177ක් වාර්තා කර ගැනීමට සමත් විය. එමෙන්ම තරගාවලියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඔහු ලකුණු 352ක් වාර්තා කර ගත්තේ 50කට අධික ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. ධර්මපාල විද්‍යාලය නියෝජනය කළ ඔහු මෙම තරගාවලියේ දී නියෝජනය කරනු ලැබුවේ බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම යි. එමෙන්ම ඔහු තරගාවලියේ දී 85%ක ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගන්නට ඔහු සමත් වූ අතර ඒ අනුව අංක 06 ස්ථානයේ දී ඔහු භයානක පිතිකරුවෙකු වනු නොඅනුමානය.

7.ජනිත් ලියනගේ

Janith Liyanage 7සාන්ත පීතර කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන රාගම ක්‍රිකට් සමාජය නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක ජනිත් ලියනගේ මඳ වේගපන්දු යවන්නෙක් ලෙස මෙන්ම මැදපෙළ පිතිකරුවෙක් වශයෙන් ද කණ්ඩායමකට ඉතා වැදගත් ක්‍රීඩකයෙකි. තීරණාත්මක අවස්ථාවන් හිදී කඩුලු ලබා ගැනීමට ඔහු වැදගත් වේ. මෙම තරගාවලියේ දී බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම නියෝජනය කරමින් ඔහු කඩුලු 17ක් දවා ගත්තේ 13.53ක කඩුලු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස 4/18 දක්‍ෂතාවය සටහන් විය. එමෙන්ම ඔහු තරගාවලියේ දී ලකුණු 154ක් රැස්කරගත්තේ 30කට අධික ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. ඊට අමතරව ඔහු පන්දු රකින්නෙක් වශයෙන් ද දක්වන දක්ෂතාවය ද කණ්ඩායමට අතිශය වැදගත් වේ.

8.බිනුර ප්‍රනාන්දු (උප නායක)

Binura Fernando 8ශ්‍රී ලංකා ජාතික පන්දුවාර 20 කණ්ඩායම වෙනුවෙන් ද ක්‍රීඩා කර ඇති බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම නියෝජනය කළ බිනුර ප්‍රනාන්දු මෙම තරගාවලියේ ඉහළම දක්‍ෂතා දැක්වූ වමත් වේගපන්දු යවන ක්‍රීඩකයා ලෙස හඳුන්වා දිය හැක. එහි දී ඔහුගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය 9.21ක් ලෙස සටහන් විය. තරගාවලියේ දී කඩුලු 24ක් දවාගත් ඔහු එහි දී වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ තෙවන ස්ථානයේ රැඳී සිටිමින් තරගාවලිය අවසන් කරන්නට සමත් විය.  එමෙන්ම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස 5/20 දක්‍ෂතාවය සටහන් විය. තරගාවලියේ අවසන් මහා තරගයේ දී බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමේ නායකයා වශයෙන් ලකුණු 39කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වන්නට ඔහු සමත් වුවත් අවාසනාවන්ත ලෙස ඔවුන් එම තරගය පරාජයට පත්විය. ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී SSC කණ්ඩායම නියෝජනය කරන මොහුව මෙම කණ්ඩායමේ රොන් චනද්‍රගුප්තගේ උප නායකයා වශයෙන් තෝරාගෙන ඇත.

9.තරිඳු රත්නායක

Tharindu Rathnayake 9සාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන තරිඳු රත්නායක සතුව තම දෑත් දෙකම පන්දු යැවීම කෙරෙහි යොදා ගැනීමේ සුවිශේෂී හැකියාවක් පවතී. මෙම තරගාවලියේ දී වයඹ පළාත් කණ්ඩායම නියෝජනය කළ ඔහු මෙම කණ්ඩායමේ දඟපන්දු බලඇණිය සඳකැන් පතිරණ සමඟින් මෙහෙයවනු ඇත. තරගාවලියේ පළමු වටයෙන් අනතුරුව තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්වූ ඔහු කඩුලු 26ක් දවා ගත්තේ 16.77ක කඩුලු ලබා ගැනීමේ සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. එහි දී ඔහු ඉනිම් 2ක දී කඩුලු 5 බැගින් දවා ගන්නට සමත් වූ අතර එක් තරගයක දී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් විය. ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස 5/60 දක්‍ෂතාවය සටහන් විය.

10.සඳකැන් පතිරණ

Sandakan Pathiranaසඳකැන් පතිරණ 2016/17 තරග වාරයේ දී ‘Moors’ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ගෘහස්ථ ලීග් තරගාවලියේ දී කඩුලු 25කට අධික සංඛ්‍යාවක් දවා ගන්නට සමත් විය. වමත් දඟපන්දු යවන්නෙක් වන ඔහුට එකවර පන්දුවාර විශාල ප්‍රමාණයක් අපහසුතාවයකින් තොරව යොමු කිරීමේ හැකියාව පවතී. ඒ අනුව ඔහු මෙම තරගාවලියේ දී කඩුලු 24ක් දවාගත් අතර ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස 7/23 දක්‍ෂතාවය සටහන් විය. තරගාවලියේ දී බස්නාහිර පළාත් දකුණු කණ්ඩායම නියෝජනය කළ ඔහු ඉනිම් 2ක දී කඩුලු 5 බැගින් දවාගන්නට සමත් වූ අතර එක් තරගයක දී කඩුලු 10ක්ද දවා ගැනීමට සමත් විය.

11.මොහොමඩ් ෂිරාස්   

Mohommad Shiraz 11දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂිරාස් ‘Colts’ ක්‍රිකට් සමාජය නියෝජනය කරනු ලබයි. තරගාවලියේ වේගවත්ම පන්දු යවන්නා බවට පත්වූ ඔහු තරගාවලිය පුරාවට ප්‍රතිවාදී පිතිකරුවන්ට විශාල අභියෝගයක් විය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා ලෙස සම ප්‍රථම ස්ථානය දිනාගත් ඔහු කඩුලු 26කට හිමිකම් කීවේ ඉනිම් 2ක දී කඩුලු 5 බැගින් දවා ගනිමිනි. එමෙන්ම ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙස 6/40 දක්‍ෂතාවය සටහන් වූ අතර ඔහුගේ කඩුලු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙස සටහන් වූයේ 15.85 කි.

අපි මෙම තෝරාගත් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් ඔබ එකඟ වන්නේ ද? මෙම තරගාවලියේ කණ්ඩායම පිළිබඳ ඔබගේ අදහස් පහතින් දක්වන්න.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට