සුදිර්මන් කප් එකෙන් පසු තිළිණි සමුගනියි

115

චීනයේ ඩොන්ගුවාන් නගරයේදී පැවැත්වෙන සුධිර්මන් කුසලාන ලෝක බැඩ්මින්ටන් තරගාවලියට සහභාගි වීමෙන් අනතුරුව ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ක්‍රීඩිකාව ලෙස සැලකෙන තිළිණි ජයසිංහ ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි පැවැසේ.

මැයි මස 10 වැනිදා සිට 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනකු හා ක්‍රීඩිකාවන් තිදෙනකු සහභාගි වන අතර, එහි නායකත්වය හොබවනු ලබන්නේද තිළිණි ජයසිංහ විසිනි.

මේ පිළිබඳව “මව්බිම” විමසූ අවස්ථාවේදී තිළිණි පැවැසුවේ එහි යම් සත්‍යතාවක් ඇති බවය.
“දැනට මගේ ප්‍රධාන ඉලක්කය මෙම තරගාවලිය හොඳින් නිම කිරීමටයි. මෙම තරගාවලියෙන් අනතුරුව මම තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනවාද නැද්ද යන්න තීරණය කරනවා. ඒ වුණත් බොහෝ දුරට මෙය මගේ අවසාන ජාත්‍යන්තර තරගාවලිය වේවි” යැයිද පැවැසුවාය. තරගාවලිය සම්බන්ධයෙන්ද කරුණු දැක්වූ ඇය පැවැසුවේ ශ්‍රී ලංකාවට තරග කිරීමට ඇති රටවල් අතුරින් පිලිපීනය යම් තර්ජනයක් වුවද සෙසු රටවල්වලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ඉදිරියෙන් ඇති බවයි.
ශ්‍රී ලංකා කණ්ඩායම _ තිළිණි ජයසිංහ (නායිකා), ලේඛා ශෙහානි, අචිනි රත්නසිරි, තිසර නිම්මික, රොෂාන් පද්මකුමාර හා දක්‍ෂිත ගුණතිලක