දිනයේ ජයග්‍රහණ Sea Hawks, Renown, Blue Star සහ Colomboට

Super League 2021

325

සුපර් ලීග් 2021 තරගාවලියේ අටවැනි සතියේ ඊයේ (08) පැවති තරගවලින් Ratnam SC, Up Country Lions FC, Blue Eagles SC, New Youngs FC කණ්ඩායම් පරාජය කරමින් ජයග්‍රහණ ලබා ගැනීමට Sea Hawks FC, Renown SC, Blue Star SC සහ Colombo FC ක්‍රීඩකයින්ට හැකි වුනා.

Ratnam SC – Sea Hawks FC

කොළඹ තුරඟ තරග පිටියේ ඊයේ සවස පැවති මෙම තරගයෙන් Ratnam ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස පරදවමින් ජයග්‍රහණය ලබා ගැනීමට Sea Hawks ක්‍රීඩකයින් සමත් වුනා.

Ratnam ක්‍රීඩකයින් පසුගිය සතියේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරමින් මෙම තරගයට අවතීර්ණ වූ අතර ප්‍රතිවාදීන් පසුගිය සතියේ ලද ජයග්‍රහණය නිසාවෙන් ඉතාමත් හොඳ මානසිකත්වයෙන් මෙම තරගයට අවතීර්ණ වුනා.

ආරම්භයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධයේ දී කිසිදු ගෝලයක් ලබා ගැනීමට කණ්ඩායම් ද්විත්වයටම නොහැකි වීම නිසාවෙන් එම අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

තරගයේ පළමු ගෝලය රැස්කරමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන ඒමට Sea Hawks ක්‍රීඩක සුභාෂ් මධුෂාන්ට හැකි වුනේ තරගයේ 58 වැනි මිනිත්තුවේ දීයි. එම අර්ධය තුළ කිසිදු ගෝලයක් රැස් කිරීමට Ratnam ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Ratnam SC 0-0 Sea Hawks FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Sea Hawks FC: සුභාෂ් මධුෂාන් 58 ‘

Renown SC – Up Country Lions FC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ සවස් වරුවේ දී පැවති මෙම තරගයේ දී Up Country Lions FC ක්‍රීඩකයින් පරදවා ගෝල 1-0ක ජයක් හිමි වුනේ Renown SC කණ්ඩායමටයි.

අවසන් සතියේ දී ජයග්‍රහණයක් ලබමින් Renown SC ක්‍රීඩකයින් තරගයට පිවිසි අතර පෙර සතියේ ලැබූ පරාජය නිසාවෙන් Up Country Lions ක්‍රීඩකයින්ට මෙම තරගය ජයග්‍රහණය කිරීම ඉතාමත් වැදගත් වුනා.

නමුත් Up Country Lions ක්‍රීඩකයින්ට පළමු අර්ධයේම දැඩි පීඩනයක් එල්ල කළ Renown ක්‍රීඩක Job Michael පන්දුව ගෝල දැල තුළට එල්ල කරමින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනේ තරගයේ පළමු අතිරේක කාලයේ දීයි.

පළමු අර්ධයේ ලැබූ පසුබෑම නිවැරදි කරගනිමින් තරගයට අවතීර්ණ වීමේ බලාපොරොත්තුවෙන් Up Country Lions ක්‍රීඩකයින් දෙවැනි අර්ධය ආරම්භ කළත්, ඔවුන්ට ගෝල ලබා ගැනීමට අවස්ථාවක් නිර්මාණය කිරීමට Renown ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Renown SC 1-0 Up Country Lions FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Renown SC: Job Michael 45+2 ‘

Blue Star SC – New Youngs FC

කොළඹ සුගතදාස පිටියේ දී ඊයේ (08) රාත්‍රියේ පැවති මෙම තරගයෙන් ගෝල 4-1ක ජයක් ලබමින් තරගාවලියේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට Blue Star SC ක්‍රීඩකයින්ට හැකි වුනා.

පෙර සතිවල දී දැක්වූ දස්කම් නිසාවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ දිනා ගැනීමට Blue Star ක්‍රීඩකයින් සමත්ව තිබූ අතර අවසන් සතියේ ලැබූ ජයග්‍රහණය නිසා New Youngs ක්‍රීඩකයින් ද ජයග්‍රාහී මානසිකත්වයෙන් තරගයට පිවිසුණා.

ප්‍රබල Blue Star ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තරගයේ පළමු ගෝලය රැස්කර සිය කණ්ඩායමට අවශ්‍ය වූ ආරම්භය ලබා දීමට 22 වැනි මිනිත්තුවේ දී New Youngs ක්‍රීඩක රුමේෂ් මෙන්ඩිස්ට හැකි වූ අතර එම අර්ධය තුළ ගෝල රැස් කිරීමට Blue Star ක්‍රීඩකයින්ට හැකි වුනේ නැහැ.

පෙර අර්ධයේ සිදු වූ අත්වැරදීම් නිවැරදි කරගනිමින් දෙවැනි අර්ධයට පිවිසි Blue Star වෙනුවෙන් ක්‍රියාත්මක වූ සෙනාල් සංදේශ් 53, 56 වැනි සහ 84 වැනි මිනිත්තුවේ දී ගෝල රැස් කිරීමට සමත් වුනේ තරගයේ වැඩි වාසි සිය කණ්ඩායමට ගෙන එමිනුයි.

සෙනාල්ගේ අවසන් ගෝලයෙන් කෙටි වේලාවකට පසුව එනම් 90 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ මොහොමඩ් අර්ශාඩ් සිය කණ්ඩායම වෙනුවෙන් සිව්වැනි ගෝලය රැස් කරමින් ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: New Youngs FC 1-4 Blue Star SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • New Youngs FC: රුමේෂ් මෙන්ඩිස් 22 ‘
  • Blue Star SC: සෙනාල් සංදේශ් 53’,56’&84, මොහොමඩ් අර්ශාඩ් 90’

Colombo FC – Blue Eagles SC

කොළඹ තුරඟ තරග පිටියේ පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගාවලියේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට Colombo ක්‍රීඩකයින්ට හැකි වුනා.

අවසන් සතියේ ලද ජයග්‍රහණය සමඟින් Colombo ක්‍රීඩකයින් මෙම තරගයට අවතීර්ණ වූ අතර Blue Eagles ක්‍රීඩකයින් තමන් සහභාගි වූ අවසන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර තිබුණා.

තරගාවලියේ පෙරමුණට පැමිණීමට ඉතා තීරණාත්මක වූ මෙම තරගයේ සිය කණ්ඩායමට අවශ්‍ය ආරම්භය ලබා දුන් Colombo නායක මෝමස් යාපෝ 25 වැනි මිනිත්තුවේ දී පන්දුව ගෝලය තුළට එල්ල කරමින් පළමු ගෝලය රැස් කළා.

එම අර්ධය තුළ Blue Eagles ක්‍රීඩකයින්ට ගෝලයක් ලබා ගැනීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීම නිසාවෙන් එම අර්ධය Colombo ක්‍රීඩකයින්ට වාසි ගෙන දෙමින් අවසන් වුනා.

පළමු අර්ධයේ ලබාගත් ආධිපත්‍ය එලෙසම රඳවා ගත් Colombo ක්‍රීඩකයින් දෙවැනි අර්ධය තුළට සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 79 වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ආකීබ්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Blue Eagles SC 0-2 Colombo FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • Colombo FC: මෝමස් යාපෝ 25 ‘, මොහොමඩ් ආකීබ් 79’

>>පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<