පාසල් පැසිපන්දු ශූරතා සාන්ත ජෝසප් සහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

20න් පහළ පාසල් පැසිපන්දු ශූරතාවය 2022

200
​U20 schools basketball championship

වයස අවුරුදු 20න් පහළ පාසල් පැසිපන්දු ශූරතාවය ඊයේ (19) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ බාලක අංශයේ ශූරතාවය මරදාන සාන්ත ජෝසප් ක්‍රීඩකයින් විසිනුත්, බාලිකා ශූරතාවය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් විසිනුත් ජයග්‍රහණය කරමිනි.

බාලිකා අංශය

තරගාවලියේ වත්මත් ශූරියන් වන ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් විසින් අවසන් මහා තරගයේ දී මහාමායා විදුහල් ක්‍රීඩිකාවන් 70-39ක් ලෙස පරාජය කරමින් ශූරතාවය සිය පාසලේම රඳවා ගන්නට සමත් වුනා.

වත්මන් ශූරියන් වෙනුවෙන් ඔනෙලා දුනුවිල සහ කිසලි ජයපාල විසින් ආරම්භක ලකුණු වාර්තා කරමින් පළමු කාර්තුව සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්නට සමත් වූ අතර කරට කර පැවති එම කාර්තුව අවසන් වුනේ 16-14ක් ලෙස වත්මන් ශූරියන් පෙරමුණ ගනිමිනුයි.

කෙසේ නමුත් දෙවැනි කාර්තුවේ ප්‍රතිවාදි මහාමායා ක්‍රීඩිකාවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට බම්බලපිටිය ක්‍රීඩිකාවන් සමත් වූ අතර තෙවැනි අර්ධය සඳහා හොඳ පරතරයක් ගොඩනගා ගනිමින් දෙවැනි කාර්තුව අවසන් කරන්නට ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් සමත් වුනේ 38-22ක් ලෙස පෙරමුණ ගනිමිනුයි.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තෙවැනි කාර්තුවේ දී ද හොඳ ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් දෙවැනි කාර්තුවේ ලබා ගත් පරතරය තවත් වර්ධනය කර ගනිමින් 57-30ක් ලෙස තෙවැනි අර්ධය නිමා කළේ මහාමායා ක්‍රීඩිකාවන්ට දැවැන්ත පීඩනයක් එල්ල කරමිනුයි.

කෙසේ නමුත් ලැබුණු පීඩනය හමුවේ මහාමායා ක්‍රීඩිකාවන් අඛණ්ඩව සටන් කරනු දක්නට ලැබුනත්, සිව්වැනි කාර්තුවේ දී ඔවුන්ට රැස්කරගන්නට හැකි වුනේ තවත් ලකුණු 9ක් පමණයි. නමුත් තරගාවලිය පුරා දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවන් තවත් ලකුණු 15ක් රැස් කරමින් 70-39ක් ලෙස තරගය අවසන් කළේ 2022 කිරුළට උරුමකම් කියමිනුයි.

  • පළමු කාර්තුව – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 16 – මහාමායා විද්‍යාලය 14
  • දෙවැනි කාර්තුව – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 38 – මහාමායා විද්‍යාලය 22
  • තෙවැනි කාර්තුව – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 57 – මහාමායා විද්‍යාලය 30
  • සිව්වැනි කාර්තුව – ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය 70 – මහාමායා විද්‍යාලය 39

සම්මාන ප්‍රදානෝත්සවයේ දී දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩිකාව ලෙස මහාමායා විදුහලේ චිතේරා සමරකෝන් සම්මාන දිනා ගනිද්දී, ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවන් වන මිනෝලි ඩිරෙර්ස් සහ ඔනෙලා දුනුවිල පිළිවෙළින් දක්ෂතම ආරක්ෂක ක්‍රීඩිකාව සහ තරගාවලියේ වටිනාම ක්‍රීඩිකාව ලෙස අභිෂේක ලැබුවා.

බාලක අංශය

තෙවැනි වරටත් 20න් පහළ බාලක පැසිපන්දු ශූරතාවය ජයග්‍රහණය කරන්නට ශෙහාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුනා. ඒ අවසන් මහා තරගයේ දී 68-52ක් ලෙස කොළම රාජකීය විද්‍යාලය පරාජය කරමිනුයි.

කණ්ඩායම් දෙකම අපරාජිතව අවසන් මහා තරගය සඳහා පිවිසි අතර පළමු කාර්තුවේ දී ම පෙරමුණ දිනා ගන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනේ 24-09ක් ලෙස හොඳ පරතරයක් ගොඩනගා ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ දී ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ රාජකීය ක්‍රීඩකයින් කරට කර සටනක් දෙනු දක්නට ලැබුණු නමුත් ඒ අභියෝගයට සාර්ථක පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩා කළ සාන්ත ජෝසප් ක්‍රීඩකයින් දෙවැනි කාර්තුවේ දී තවත් ලකුණු 7ක් සමඟින් 31-18ක් ලෙස පෙරමුණ රඳවා ගන්නට සමත් වුනා.

දෙවැනි අර්ධයට වඩා තියුණු ක්‍රීඩා විලාසයක් තෙවැනි අර්ධයේ දී රාජකීයයන් විසින් පෙන්නුම් කළා. ඔවුන් සිය ලකුණු පුවරුවට තවත් ලකුණු 14ක් එකතු කරගන්නට සමත් වුනේ සමස්ත ලකුණු සංඛ්‍යාව 34ක් දක්වා ඉහළ දමා ගනිමිනුයි. සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ද ප්‍රතිවාදීන්ගේ අභියෝග හමුවේ නොසැලි ක්‍රීඩා කරනු දක්නට ලැබුණු අතර මෙතුවක් වේලා රඳවා ගත් පෙරමුණ එලෙසම රඳවා ගනිමින් 47-34ක් ලෙස තෙවැනි අර්ධය අවසන් කළා.

තරගයේ වඩාත් උද්වේගකර සහ තියුණු කාර්තුව වූ සිව්වැනි කාර්තුවේ දී ද හොඳ සටනක් ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්නට ලැබුණු අතර 68-52ක් ලෙස ලකුණු 16ක පරතරයක් සමඟින් ශූරතාවය මරදානට රැගෙන යන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයින් සමත් වුනා.

  • පළමු කාර්තුව – රාජකීය විද්‍යාලය 09 – සාන්ත ජෝසප් විදුහල 24
  • දෙවැනි කාර්තුව – රාජකීය විද්‍යාලය 18 – සාන්ත ජෝසප් විදුහල 31
  • තෙවැනි කාර්තුව – රාජකීය විද්‍යාලය 34 – සාන්ත ජෝසප් විදුහල 47
  • සිව්වැනි කාර්තුව – රාජකීය විද්‍යාලය 52 – සාන්ත ජෝසප් විදුහල 68

රාජකීය විදුහලේ යුගානන් බාස්කරන් දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනිද්දී, දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා ලෙස රාජකීය විදුහලේ කීත් කොස්තා සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ සාන්ත ජෝසප් නායක ශෙහාන් ප්‍රනාන්දුයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<