TSM සහ Air Brothers කණ්ඩායම් Reb Bull Half Court ජය ගනී

Red Bull Half Court 2022

101
Red Bull Half Court ends on a high

Red Bull විසින් ශ‍්‍රී ලංකාවේ දී ප්‍රථම වරට සංවිධානය කරන ලද ‘Red Bull Half Court’ තරගාවලිය 2022 අප්‍රේල් 23 වැනිදා ශ‍්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ක්‍රීඩා පිටියේ දී අවසන් විය.

දකුණු, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වල පැවති මූලික වටයේ තරගවල දී සුදුසුකම් ලැබූ පිරිමි හා කාන්තා කණ්ඩායම් 4 බැගින් මෙම අවසන් අදියරේ දී කුසලානය සඳහා තරග වැදුණහ.

Red Bull Half Court යනු ‘3X3’ වර්ගයේ ජාත්‍යන්තර පැසිපන්දු තරගාවලියකි. ලොව රටවල් 20ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15,000කට වැඩි පිරිසක් අතරින් විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම එහි මූලික අරමුණ වේ.

තරගාවලියේ ඉදිරියට යාමට තරග ජයග්‍රහණය කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, සමස්තයක් ලෙස සෑම කාණ්ඩයකම ඉහළම ලකුණු ලබා ගන්නා කණ්ඩායම්වල ‘Own the Court’ ප්‍රසාද ලකුණු හිමි වේ.

මේ නිසා කිසියම් කණ්ඩායම් වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය නොකළ ද, ඔවුන්ට අවසන් වටයට පිවිසීමට අවස්ථාව ලැබීමට ඉඩ ඇත.

සන්නාමයක් ලෙස ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා දායකත්වය ලබා දීමට Red Bull සෑම විටම උත්සාහ කරයි. Red Bull Half Court වැනි තරගාවලියක් ශ‍්‍රී ලංකාව තුළ සංවිධානය කරන ලද්දේ ප්‍රථම වරට වන අතර, රටේ පැසිපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් මෙම තරගාවලිය වාර්ෂිකව සංවිධානය කිරීමට Red Bull බලාපොරොත්තු වෙයි.

තරගයේ ආරම්භක අදියරේ දී සෑම පළාතකින්ම කණ්ඩායම් 20ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 බැගින් Red Bull Half Court තරගාවලියට එක්වූහ. මෙම කණ්ඩායම් අතරින් එක් පළාතකින් එක් කාන්තා කණ්ඩායමක් සහ එක් පිරිමි කණ්ඩායමක් බැගින් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබූහ.

කොළඹ TSM කණ්ඩායම (තිසරමාලා අංජලී ඒකනායක, බෙනිකා මධුභාෂිනී, ලූබ්නා මෝර්සෙත් සහ නිහාරි පෙරේරා) සහ Team Air Brothers කණ්ඩායම (නිමේෂ් ප්‍රනාන්දු, රුක්ෂාන් අතපත්තු, චානක ශෙහාන් සහ පවන් ගමගේ) පිළිවෙළින් කාන්තා හා පිරිමි කාණ්ඩවල ශූරතාව දිනා ගත්හ.

ජයග්‍රාහී කණ්ඩායම්වලට මෙම වසරේ ඔක්තෝබර් මාසයේ ඊජිප්තුවේ දී පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමි වේ.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<