ශ්‍රී ලංකා හොකි කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට

284

පසුගිය දා බැංකොක් හිදී පැවති සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා පිරිමි හොකි කණ්ඩායම 2023 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා වරම් දිනාගෙන තිබෙනවා.

ඒ අනුව, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ දී ප්‍රථම ස්ථාන 6 අතර සිටින කණ්ඩායම් චීනයේ දී පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙල සඳහා අවස්ථාව හිමිවනවා.

ශ්‍රී ලංකාව විසින් 5-2ක් ලෙස සිංගප්පූරුව පරාජය කළත්, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව හමුවේ 3-1ක් ලෙස පරාජයට පත්වුනා. 5 සිට 8 දක්වා වූ ස්ථාන තෝරාගැනීම වෙනුවෙන් පැවති තරගවල දී 5-2ක් ලෙස හොංකොං පරාජය කරමින් සහ උස්බෙකිස්තානය හමුවේ 3-3ක් ලෙස තරගය සමව අවසන් කර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනේ පස්වැන්නා ලෙස තරගාවලිය අවසන් කරමිනුයි.

ඕමානය 6-2ක් ලෙස පරාජය කරමින් බංග්ලාදේශය ද ප්‍රථම ස්ථාන 6 සඳහා අවස්ථාව දිනා ගත් අතර ඒ අනුව තායිලන්තය, ඉන්දුනීසියාව සහ උස්බෙකිස්තානය යන රටවල් ද ශ්‍රී ලංකාව, ඕමානය සහ බංග්ලාදේශය සමඟින් අවසන් 6 සඳහා සුදුසුකම් ලබා ගත්තා.

තරගාවලියේ වැඩි ලකුණු ලාභියා ලෙස ශ්‍රී ලාංකික ක්‍රීඩක විපුල් වර්ණකුල කැපී පෙනුණේ තරගාවලිය පුරාවට ගෝල 7ක් වාර්තා කරමින් වීම විශේෂත්වයක්. එමෙන්ම තරගාවලියේ දී දෙවතාවක් තරගයේ සම්මානයෙන් පිදුම් ලබන්නටත් විපුල් සමත් වුනා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තරංග ගුණවර්ධන කටයුතු කරන අතර කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළේ කොරියානු ජාතික Kim Jung සහ චාමික ලැනරෝල් යන මහත්වරුන්ය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<