ශ්‍රී ලංකාවට බොක්සිං රන් පදක්කමක්

235
Rukmal Prasanna wins gold

රුක්මාල් ප්‍රසන්න විසින්, මේ වසරේ ශ්‍රී ලංකාවට හිමි වූ පළමු විදෙස් බොක්සිං රන් පදක්කම දිනා ගැනීමට සමත් වුනා. ඒ ප්‍රංශයේ දී පැවති Les Ceintures International Boxing Meet හිදී යි.

22 හැවිරිදි ප්‍රසන්න මෙම ජයග්‍රහණය වාර්තා කළේ බැන්ටම් බර පන්තියේ (56 kg) අවසන් මහා තරගයේ දී කැනඩාවේ අල් අහමදි පරාජය කරමින්. අවසන් පූර්ව තරගයේ දී ඔහු අතින් පරාජය වුනේ ඉතාලියේ එරිල්මාස් නම් ක්‍රීඩකයෙකුයි. ජාත්‍යන්තර බොක්සිං රන් පදක්කම්වල යම් හිඟයකින් පසුවන ශ්‍රී ලංකාවට ප්‍රසන්නගේ ජයග්‍රහණය අස්වැසිල්ලක් වන බව නොඅනුමානයි.

අබ්දුල්ලා ඉබුනුගේ පුහුණුකාරීත්වය යටතේ තරගාවලිය නියෝජනය කරන්නට ගිය ප්‍රසන්න, පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩකයෙක්. මේ වන විට L. V. ජයවීර, ටී. බී. ජායා, ස්ටබ්ස් පළිහ ආදී සෑම තරගාවලියක දී ම ඔහුගේ බර පන්තියේ දක්ෂතම ක්‍රීඩකයා වී ඇති ප්‍රසන්න බිහි වුනේ ඉංගිරියෙන්. ඔහු විසින් ජාතික ශූරතාවය ද දිනා තිබෙනවා.

මින් පෙර බල්ගේරියාවේ සහ තායිලන්තයේ දී ජාත්‍යන්තර බොක්සිං තරගාවලි නියෝජනය කර ඇතත් ප්‍රසන්න විසින් රන් පදක්කමක් දිනා ගත් ඉහළම ජාත්‍යන්තර තරගාවලිය ලෙස Les Ceintures International Boxing Meet හැඳින්විය හැකි.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ප්‍රධාන කමිටුවට ඇතුළත් වී පැය 24ක් ගතවන්නටත් මත්තෙන් ශ්‍රී ලංකාව ලද මේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ බොක්සිං අනාගතය ගැන සුබ ලකුණක් වේවායි බොක්සිං ලෝලීන්ගේ ප්‍රාර්ථනයයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<