ශක්තිගේ ශක්තියෙන් ආනන්දයට පූර්ණ ජයක්

19න් පහළ දෙදින සාම්ප්‍රදායික තරග 2022

1005

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ සාම්ප්‍රදායික දෙදින පාසල් ක්‍රිකට් තරගය ආනන්ද විද්‍යාලයට ලකුණු 153ක ජයක් හිමිකරදෙමින් අද (8) නිමාවට පත්වුනා.

දිනය ආරම්භ වන විට පිළිතුරු දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ආනන්ද විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 83ක් ලබාගෙන සිටි අතර ඔවුන් අද උදෑසන දිවා ආහාරයට මිනිත්තු 30කට පමණ පෙර ඔවුන්ගේ දෙවැනි ඉනිම අත්හිටවූවා.

කඩුලු 2ක් දැවී ලකුණු 272ක් ලබාගෙන ආනන්දය සිය ඉනිම අත්හිටවූයේ මලියදේවයට ලකුණු 370ක දැවැන්ත අභියෝගයක් ලබා දෙමින්. එහි දී ආනන්ද දෙවැනි ඉනිමේ දෙවැනි සහ තෙවැනි කඩුලු වෙනුවෙන් ශතක සබඳතාවයන් දෙකක් ගොඩනැංවීමට නුශාල් ධර්මරත්න – නායක නෙත්ම කරුණාරත්න (පන්දු 188 – ලකුණු 133) සහ නෙත්ම – හංසජ ජයසිංහ (පන්දු 60 – ලකුණු 100*) සමත් වීම කැපී පෙනුනා.

අනතුරුව සිය පිළිතුරු දෙවැනි ඉනිම දියත් කළ මලියදේව විද්‍යාලය පළමු ඉනිමට සාපේක්ෂව ඔවුන්ගේ අඩුපාඩු නිවැරදි කරගනිමින් පිතිකරණයේ නිරත වුනු නමුත් වමතින් දඟපන්දු යවන ශක්ති උදාර මලියදේව පිතිකරුවන් සම්පූර්ණ ලෙස තම ග්‍රහණයට නතු කර ගැනීම නිසා මලියදේවයට මේ තරගයෙන් පූර්ණ තරග පරාජයක් උරුම වුනා. අවසානයේ දී මලියදේවයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගැනීමට සමත් වුනේ ලකුණු 216ක් පමණයි.

ආනන්ද විද්‍යාලයේ ශක්ති පළමු ඉනිමේ කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 8ක් ද ඇතුළුව සමස්ත කඩුලු 11ක් දවාගනිමින් මේ තරගයේ දී සුපිරි පන්දු යැවීමක නිරත වුනා. එය ඔහු (ශක්ති) 19න් පහළ පාසල් ක්‍රිකට් දිවියේ ඉනිමක් තුල දැක්වූ හොඳම දස්කම ද එයයි.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ ආනන්ද විද්‍යාලයේ ආදි සිසු දිනේෂ් චන්දිමාල්ගේ බාලම සහෝදරයා වන 17 හැවිරිදි අයේෂ් ශෂීමාල් ලකුණු 37කට කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්වූවා.

ආනන්ද විද්‍යාලය මේ වසරේ ඔවුන් මේ දක්වා ක්‍රීඩා කළ දෙදින සාම්ප්‍රදායික තරග අතරින් පූර්ණ තරග ජයග්‍රහණයක් සහිතව අවසන් කළ පළමු තරග ජයග්‍රහණය මෙය වන අතර මලියදේවය (මෙවර දෙදින තරගවල දී) පූර්ණ තරග පරාජයක් ලබාගත් එකම තරගය මෙයයි.

තරගයේ ලකුණු සාරාංශය

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 175 (47.1): හංසජ ජයසිංහ 55, නෙත්ම කරුණාරත්න 42, නුශාල් ධර්මරත්න 40, සකිඳු විජේරත්න 5/45, රිෂී අධිෂ්ටාන් 2/05.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 78 (20): චාරුක හේරත් 22, ටෙහාන් පෙරේරා 5/29, ශක්ති උදාර 3/12, නෙත්ම සමරවීර 2/33.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම – 272/2d (52.3): නෙත්ම කරුණාරත්න 102*, නුශාල් ධර්මරත්න 84, හංසජ ජයසිංහ 51*, ලක්ෂිත කුලරත්න 23.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම – 216 (59.4): චමත් හෙට්ටිආරච්චි 34, අමේෂ් තෙන්නකෝන් 34, ශක්ති උදාර 8/77, අයේෂ් ශෂීමාල් 2/37.

ආන්නද විද්‍යාලයට ලකුණු 153ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<