හංසජ සහ ටෙහාන් ආනන්දය පෙරමුණේ තබයි

19න් පහළ දෙදින සාම්ප්‍රදායික තරග 2022

1372

වයස අවුරුදු 19න් පහළ සාම්ප්‍රදායික දෙදින පාසල් ක්‍රිකට් තරග දෙකක් සහ ඩී. එස් සේනානායක – මහානාම එක්දින මහා තරගය අද (7) දිනයේ දී ක්‍රියාත්මක වුනා.

සාන්ත සෙබස්තියන් සහ ත්‍රිත්ව විද්‍යාල අතර පැවැත්වුණු දෙදින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර එහි දී ත්‍රිත්ව පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක රනුද සෝමරත්න ලකුණු 150ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

පන්දු 138ක දී වාර්තා වුනු ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 8ක් සහ 6 පහර 11ක් ඇතුළත් වුනු අතර ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 108.70ක් වැනි ඉහළ අගයක පැවතුනා. එහි දී තීරක රණතුංග කඩුලු 5ක දස්කමක් දක්වමින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වූවා. සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නිලාෂ් පෙරේරා ලකුණු 56යි.

ආනන්ද විද්‍යාලය සහ මලියදේව විද්‍යාල අතර පැවති තරගයේ පළමු දිනයේ දී කඩුලු 21ක් බිඳ වැටුණු අතර කඩුලු 5 අවස්ථා දෙකක් වාර්තා වීම කැපී පෙනුණා. එහි දී කාසියේ වාසිය දිනාගෙන පළමු ඉනිම දියත් කළ ආනන්දියයන් වෙනුවෙන් හංසජ ජයසිංහ අගනා ලකුණු 55ක් ලබා ගත් අතර වමතින් දඟපන්දු යවන මලියදේව ක්‍රීඩක සකිඳු විජේරත්න කඩුලු 5ක් දවා ගත්තා.

පිළිතුරු පළමු ඉනිම දියත් කළ මලියදේව පළමු ඉනිම ලකුණු 78කට සීමා කිරීමට වමතින් වේගපන්දු යවන ටෙහාන් පෙරේරා සමත් වුනු අතර ශක්ති උදාර කඩුලු 3ක් දවා ගත්තා. ලකුණු 97ක පළමු ඉනිමේ වාසියක් අතැතිව පන්දුවට පහර දෙමින් සිටින ආනන්ද විද්‍යාල තරගයේ පළමු දිනය අවසන් වන විට මලියදේව විද්‍යාලයට වඩා ලකුණු 180ක් ඉදිරියෙන් පසුවෙනවා.

අරවින්ද ද සිල්වා අභියෝගතා කුසලානය වෙනුවෙන් මහානාම විද්‍යාලය සහ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර 16 වැනි වරටත් පැවැත්වුණු රන් මහා සටන එක්දින තරගය ජය ගැනීමට දෙවිඳු කැකිරිදෙණියගේ නායකත්වයෙන් යුත් මහානාම විද්‍යාලය සමත් වුනා.

මහානාම විද්‍යාලය මෙවර තරගය ජය ගැනීමත් සමඟ දෙවිදුහල් අතර පැවති එක්දින තරග 16න් තරග 9ක ජය සතු කරගැනීමට මහානාමය සමත් වී සිටින්නේ නොකඩවා අවසන් එක්දින මහා තරග 5ම ජයගෙනයි.

ඊට අමතරව ඩී. එස්. සේනානායක විද්‍යාලය තරග 4ක් ජයගෙන තිබෙන අතර තවත් තරග 3ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී තිබෙනවා. මේ තරගයේ දී කූජන පෙරේරා ශතකයක් වාර්තා කරගෙන කැපී පෙනෙන දස්කම් දැක්වූ අතර මහානාම ක්‍රීඩකයෙක් මෙවර එක්දින තරග වාරය තුල ශතකයක් ලබා ගත් පළමු අවස්ථාව මෙයයි.

ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 198 (56.3): කේෂර මධූෂ 82, සෙනිත් ප්‍රනාන්දු 32, සවිඳු ප්‍රනාන්දු 32, විභාවිත් ඇහැලේපොල 4/37, මනුල කුලරත්න 3/37, දිනුක තෙන්නකෝන් 2/17.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 303 (70.2) : රනුද සෝමරත්න 150, විභාවිත් ඇහැලේපොල 37, පවන් පතිරාජ 34, සුපුන් වඩුගේ 22, මනුජ චන්තුක 3/89, සන්දීෂ් ප්‍රනාන්දු 2/46, විරෝෂ විජේසිංහ 2/54, සෙනිත් ප්‍රනාන්දු 2/55.

සාන්ත සෙබස්තියන් දෙවන ඉනිම – 223/8 (62.1): නිලාෂ් පෙරේරා 56, බිහඟ මෙන්ඩිස් 43, සෙනිත් ප්‍රනාන්දු 30, සවිඳු රොද්‍රිගෝ 27, සනේෂ් ප්‍රනාන්දු 23, තීරක රණතුංග 5/64.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ආනන්ද විද්‍යාල ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 175 (47.1): හංසජ ජයසිංහ 55, නෙත්ම කරුණාරත්න 42, නුශාල් ධර්මරත්න 40, සකිඳු විජේරත්න 5/45, රිෂි අධිෂ්ටාන් 2/05.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 78 (20): චාරුක හේරත් 22, ටෙහාන් පෙරේරා 5/29, ශක්ති උදාර 3/12, නෙත්ම සමරවීර 2/33.

ආනන්ද විද්‍යාල දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 83/1 (23): නුශාල් ධර්මරත්න 39*, ලක්ෂිත කුලරත්න 23.

16 වැනි රන් මහා සටන වාර්ෂික එක්දින තරගය

  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – දඹුල්ල

මහානාම විද්‍යාලය – 290 (48.3): කූජන පෙරේරා 112, අංජල බණ්ඩාර 62, ඉනුක කරන්නාගොඩ 29, සචිර වැලිවත්ත 29, අදීශ බණ්ඩාරනායක 4/41, සනිරු දිසානායක 2/51, රාහුල් චන්ද්‍රසේකර 2/65.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 117 (44.1) අභිෂේක් ලියනාරච්චි 46, ධනජ එදිරිසිංහ 3/22, ඉනුක කරන්නාගොඩ 2/10, දුවිඳු රණතුංග 2/17.

මහානාම විද්‍යාලයට ලකුණු 173ක ජයක්

ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන සම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගය හෙට (8) දෙවැනි දිනයටත් ThePapare.com ඔස්සේ සජීව ලෙස රැගෙන ඒමට සියල්ල සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<