නෙත්ම, පුළිඳු, රන්දුනු, යසිත් සහ චනුල්ගෙන් අර්ධ ශතක

19න් පහළ පාසල් දෙදින ක්රිකට් තරාගවලිය 2022

1020

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරග ද්විත්වයක් අද (05) නිමාවට පත්වන විට තවත් තරගයක් අද ආරම්භ වුනා.

ඊයේ (04) ආරම්භ වූ රාජකීය සහ කොළඹ ආනන්ද විද්‍යාල අතර තරගය සහ කොළඹ ඉසිපතන සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට අද ආරම්භ වූයේ කොළඹ නාලන්දා සහ කොළඹ තර්ස්ටන් විද්‍යාල අතර පැවැත්වෙන සාම්ප්‍රදායික දෙදින තරගයයි.

කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සත්කාරක ආනන්ද ක්‍රීඩකයින් රාජකීය පළමු ඉනිමට වඩා ලකුණු 72ක් පිටුපසින් සිටියා.

පළමුවෙන් පන්දුවට රාජකීය ක්‍රීඩකයින් පළමු ඉනිමට රැස්කළ ලකුණු 404ට පිළිතුරු ලෙස ආනන්ද ක්‍රීඩකයින් ඊයේ (04) දිනය අවසන් වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 103ක් රැස් කරගෙන සිටියා.

අද දිනයේ ආනන්ද කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් වූ නෙත්ම කරුණාරත්න (69) සහ පුළිඳු කිරිඇල්ල (54) අර්ධ ශතක රැස් කිරීමට සමත් වූ අතර ඔවුන්ට අනගි සහයක් ලබා දුන් හංසජ ජයසිංහ ලකුණු 49ක් රැස් කරගත්තා.

රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී ගිහාන් බාලසූරිය ලකුණු 79කට කඩුලු තුනක් දවා ගත් අතර සිනෙත් ජයවර්ධන සහ සදීෂ රාජපක්ෂ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

කෙටි ලකුණු පුවරුව,

රාජකීය විද්‍යාල පළමු ඉනිම – 404/6d (65): සදීෂ රාජපක්ෂ 166, සිනෙත් ජයවර්ධන 95, දසිස් මංචනායක 67, ලහිරු ගන්ගේවත්ත 32*, ශක්ති උදාර 3/82.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 332/9 (93): නෙත්ම කරුණාරත්න 64, පුළිඳු කිරිඇල්ල 54, හංසජ ජයසිංහ 49, ගිහාන් බාලසූරිය 3/79, සිනෙත් ජයවර්ධන 2/05.

තරගය ජය පැරදුමෙන් තොරයි.

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය 

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගය ඉතා තියුණු සටනකින් පසුව ජය පැරදුමෙන් තොරව අවසන් අවසන් වුනා.

ඊයේ (04) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කළ වේල්ස් කුමර ක්‍රීඩකයින් කඩුලු 9ක් දැවී ලකුණු 186ක් රැස් කරගනිමින් ඉසිපතන පළමු ඉනිමට වඩා ලකුණු 99ක් ඉදිරියෙන් සිටි අතර ඔවුන් අද දිනයේ දී සිය ඉනිම අත්හිටුවා ඉසිපතන ක්‍රීඩකයින්ට නැවත පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දුන්නා.

පළමු ඉනිමේ අඩුපාඩු සකසා ගනිමින් වේල්ස් කුමර පන්දු යවන්නන්ට මුහුණ දුන් ඉසිපතන ක්‍රීඩකයින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 59.5ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 231ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

අගනා ඉනිමක් දියත් කළ රන්දුනු ගංගනාත් ලකුණු 88ක් සහ යසිත් කලුපහන ලකුණු 66ක් රැස් කරගන්නා විට වේල්ස් කුමරුවන් වෙනුවෙන් තරිඳු අමරසිංහ සහ ප්‍රසන්න ලක්මිණ කඩුලු තුන බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා වේල්ස් කුමර විද්‍යාලයට ලකුණු 132ක ඉලක්කයක් හිමි වූවත් දෙවැනි දිනය අවසානයේ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ඔවුන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් තරිඳු අමරසිංහ ලකුණු 33ක් සහ අශේන් ශානක ලකුණු 28ක් රැස් කරගන්නා විට ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් සිතුක ගුණවර්ධන සහ දිනුක අනුපමල් කඩුලු 3 බැගින් දවා ගත්තා.

කෙටි ලකුණු පුවරුව,

ඉසිපතන විද්‍යාල පළමු ඉනිම – 87 (28): රන්දුනු ගංගනාත් 41*, මිහිරු දනංජය 5/31, උනෙත් පීරිස් 2/20. 

ඉසිපතන විද්‍යාල දෙවැනි ඉනිම – 231 (59.5): රන්දුනු ගංගනාත් 88, යසිත් කලුපහන 66, තරිඳු අමරසිංහ 3/54, ප්‍රසන්න ලක්මිණ 3/66.

වේල්ස් කුමර විද්‍යාල පළමු ඉනිම – 186/9 (59): උනෙත් පීරිස් 53, තරිඳු අමරසිංහ 45, අශේන් ශානක 23, රන්දුනු ගංගනාත් 4/22.

වේල්ස් කුමර විද්‍යාල දෙවැනි ඉනිම – 117/8 (38): තරිඳු අමරසිංහ 33, අශේන් ශානක 28, සිතුක ගුණවර්ධන 3/30, දිනුක අනුපමල් 3/43.

තරගය ජය පරාජයෙන් තොරයි.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි සත්කාරක නාලන්දා ක්‍රීඩකයින් අද දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 161ක් රැස් කරගෙන සිටියා.

නාලන්දා විද්‍යාලය වෙනුවෙන් චනුල් අතුකෝරළ ලකුණු 51ක් සහ නිකිල් අභයගුණසේකර ලකුණු 32ක් රැස් කරගත් අතර පන්දු යැවීමේ දී තර්ස්ටන් ක්‍රීඩක නිපුන ප්‍රේමරත්න ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙලුවා.

කෙටි ලකුණු පුවරුව,

නාලන්දා විද්‍යාල පළමු ඉනිම – 161/6 (54.4): චනුල් අතුකෝරළ 51, නිකිල් අභයගුණසේකර 32, නිපුන ප්‍රේමරත්න 3/38.

පළමු දිනට තරගය අවසන්.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<