හර්ෂිතා තරගාවලියේ මංගල අර්ධ ශතකයට 

87

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවති Team දඹුල්ල සහ Team මහනුවර අතර තරගයේ දී තරගාවලියේ මංගල අර්ධ ශතකය රැස් කිරීමට මහනුවර කණ්ඩායමේ නායිකා හර්ෂිතා මාධවී සමත් විය. 

කොළඹ, මේට්ලන්ඩ් පෙදෙස එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 13ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

පළාත් කාන්තා මංගල දිනය අවාසනාවන්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි/20 ක්‍රිකට්….

කාසියේ වාසිය දිනා ගත් මහනුවර නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දඹුල්ල ක්‍රීඩිකාවෝ සිය පන්දුවාර 20 දී කඩුලු 4ක් දැවී ලකුණු 132ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි මහනුවර ක්‍රීඩිකාවන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17කට පමණක් සීමා විය. ඒ වෙද්දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 120ක් ලබා සිටියහ.

තරගය එතැන් සිට පන්දුවක් හෝ යැවිය නොහැකි වීම නිසා පිටියේ විනිසුරුවන් වූ චතුරාන් සංජීව සහ දේදුනු සිල්වාගේ තීරණය වූයේ තරගය එම කඩඉමෙන් නතර කරන බවයි. ඒ අනුව ජයග්‍රහණය තීරණය කිරීම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පැටවුණ අතර එහි දී එම දත්ත පෙන්වා දුන්නේ මහනුවර ක්‍රීඩිකාවන් එම අවස්ථාවේ ලකුණු 107ක් ලබා සිටියේ නම් ජයග්‍රහණය ඔවුන් සතු වන බවයි. ඒ අනුව මෙම තරගාවලියේ ලත් පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩිකාවෝ සමත් වූහ. 

Photos: Women’s T20 Super Provincial Tournament 2019/20 | Dambulla vs Kandy

දඹුල්ල ඉනිමේ දී හංසිමා කරුණාරත්න පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් ද සමඟින් ලකුණු 42ක් ලබා ගත්තාය. එය එම ඉනිමේ ක්‍රීඩිකාවක් වාර්තා කළ පෞද්ගලික ඉහළම ලකුණු සංඛ්‍යාව විය. ඇයට අමතරව ප්‍රසාදිනී වීරක්කොඩි පන්දු 38ක දී ලකුණු 41ක් රැස් කළේ හතරේ පහර 4ක් ද සමඟිනි. හංසිමා සහ ප්‍රසාදිනී අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක සබඳතාවක් එක් වීම කැපී පෙණුනි. 

ඔවුන් දෙදෙනාට අමතරව ශෂිකලා සිරිවර්ධන පන්දු 18කට මුහුණ දී හතරේ සහ හයේ පහර 2 බැගින් තම ඉනිමට එක්කර ගනිමින් ලකුණු 27ක් ලබාගත්තාය. 

කඩුලු ලබා ගැනීමේ දී උමේෂා නිමේෂනී. කවීශා දිල්හාරි සහ ජිමන්ජලී විජේනායක කඩුල්ල බැගින් දවා ගත්හ. 

නවසීලන්ත ක්‍රිකට් ආචර්ගෙන් සමාව අයදියි

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (25) මවුන්ට් මන්ගුවානි හිදී නිමා වූ පළමු….

පිළිතුරු මහනුවර ඉනිමේ ගැලවුම්කාරිය වූයේ නායිකා හර්ෂිතා මාධවී ය. වමතින් පන්දුවට පහර දෙන ඇය ඉනිම අතරමග නතර වෙන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා සිටියාය. ජයග්‍රාහී මහනුවර කණ්ඩායම වෙනුවෙන් පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 23ක් ලබා ගැනීමට සත්‍යා සංදීපනී සමත් වූවාය. 

කඩුලු ලබා ගැනීමේ දී ශෂිකලා සිරිවර්ධන, ඉරේෂා ශ්‍යාමලී සහ හංසිමා කරුණාරත්න කඩුල්ල බැගින් දවා ගත්හ. 

Team දඹුල්ල

කඩුලු 4ක් දැවී 132 (20):හංසිමා කරුණාරත්න 42, ප්‍රසාදිනී වීරක්කොඩි 41, ශෂිකලා සිරිවර්ධන 27

Team මහනුවර

කඩුලු 4ක් දැවී 120 (20):හර්ෂිතා මාධවී නොදැවී 66, සත්‍යා සංදීපනී 23, උමේෂා නිමේෂනී 12

මේ අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ Team කොළඹ සහ Team ගාල්ල අතර තරගය වර්ෂාව හේතුවෙන් නතර කර දැමීමට පිටියේ විනිසුරුවන් ලෙසින් ක්‍රියා කළ ශාන්ත ෆොන්සේකා සහ චාමිකා බණ්ඩාර යන විනිසුරුවෝ තීරණය කළහ. ඒ පැවති අයහපත් කාලගුණ තත්ත්වය පස්වරු 3.30 පමණ වන තුරු ද වෙනසක්ව නොපැවතීම නිසාය. 

ඊයේ (24) දා වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ Team දඹුල්ල සහ Team කොළඹ අතර තරගයත් Team මහනුවර සහ Team ගාල්ල අතර තරගයත් හෙට (26) මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර ඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<