මුම්බායි වේගපන්දු යවන්නෙකු තරගාවලියෙන් ඉවත් වෙයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

918

මෙවර ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ Mumbai Indians නියෝජනය කළ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Tymal Mills හට ඇතිවූ ආබාධයක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වන බව කණ්ඩායම් බලධාරීන් තහවුරු කළා.

ඒ අනුව එම කණ්ඩායමේ ඉතිරි තරග සඳහා Mills වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Tristan Stubbs කැඳවීමට කටයුතු කළ බව කණ්ඩායම් බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

Mumbai Indians නියෝජනය කරමින් මෙවර තරග ව‍ාරයේ තරග පහකට සහභාගී වූ Tymal Mills කඩුලු හයක් දවා ගැනීමට සමත්ව තිබුනත්, ඔහුට සිය සුපුරුදු රිද්මයට පිවිසීමට හැකි වුනේ නැහැ.

“ආබාධයකට ලක්වූ Tymal Mills වෙනුවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Tristan Stubbs කණ්ඩායම සමඟ ගිවිසුම් ගත කර ගත් අතර Millsට තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වෙනවා. 21 හැවිරිදි දක්ෂ මැද පෙළ පිතිකරුවෙකු වන Tristan Stubbs දකුණු අප්‍රිකානු A කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර ඔහු නිමා වූ දකුණු අප්‍රිකානු දේශීය විස්සයි විස්ස තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූවා. ඔහු තරගාවලියේ ඉතිරි තරග සඳහා කණ්ඩායම සමඟින් එක්වෙයි”, යැයි Mumbai Indians නිකුත් කළ නිවේදනයේ සඳහන් වුනා.

මේ දක්වා විස්සයි විස්ස තරග 17කට සහභාගිව ඇති Tristan Stubbs 157.14ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් අර්ධ ශතක තුනක් සමඟින් ලකුණු 506ක් ලබා ගැනීමට සමත්ව ඇති අතර ඔහුව ඉන්දීය ලක්ෂ 20කට මිල දී ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් අසාර්ථකම ආරම්භය ලබා ගත් Mumbai Indians පළමු තරග 8ම පරාජයට පත්වූ අතර ඔවුන් සහභාගී වූ තරග 9න් ජය ගත්තේ එක් තරගයක් පමණයි.

තරගාවලිය පුරාවට Mumbai Indians පන්දු යැවීමේ දුර්වලතා කැපී පෙනුන අතර ඉන්දීය කෝටි 1.50කට මිල දී ගත් Mills සහභාගී වූ තරග පහේ දී ලකුණු 11.50ක සාමාන්‍යයක් ප්‍රතිවාදීන්ට ලබා දී තිබුණා. එය තරගාවලි ඉතිහාසයේ Mumbai Indians පන්දු යවන්නෙකු රඳවා ගත් අසාර්ථක සාමාන්‍ය ලෙස සටහන් වීම විශේෂත්වයක්.

තරගාවලිය පුරාවට කඩුලු 7ක් දවා ගත් Daniel Sams කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියා වන අතර කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වන Jasprit Bumrah මෙවර තරග වාරයේ දී ලබාගෙන ඇත්තේ කඩුලු 5ක් පමණයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<