නිපුන් සහ තේනුකගෙන් කැපී පෙනෙන තුන් ඉරියව් දක්ෂතා

19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරග 2022

574

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික දෙදින තරග කිහිපයක් අද (6) කොළඹ දී සහ මොරටුවේ දී ක්‍රියාත්මක වුනා.

නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වුණු තරගය අද දෙවැනි දිනයට ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නාලන්දා විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබාගෙන සිටියා. ඔවුන් සිය අවසන් කඩුලු 4 තුල ලකුණු 63ක් ලබාගෙන තරගකාරී ලකුණු මට්ටමක් වෙත යමින් සියල්ලන්ම දැවී ලකුණු 223ක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී චනුල (ලකුණු 51) ලබා ගත් අර්ධ ශතකයට අමතරව කුශ්මිත් සිල්වා (ලකුණු 44) සහ සජිත විතානගේ (ලකුණු 30) නාලන්දා පසුපෙළ සවිමත් කරමින් ලකුණු රැස් කළා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන නිපුන් ප්‍රේමරත්න සහ තේනුක දේවප්‍රිය කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ තර්ස්ටන් මුල්පෙළ කඩුලු 5ක් ලකුණු 36ක් තුල දවා ගැනීමට නාලන්දා නායක දිනෙත් සමරවීර ඇතුළු ක්‍රීඩකයින් සමත් වුනා. කෙසේ නමුත් 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ පළමු ඉනිමට යම් අඩිතාලමක් දැමීමට තේනුක සහ උෂාන් ඉමේෂ හට හැකියාව ලැබුණා.

ඉන් අනතුරුව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වුණු නිපුන් සහ තනුග පලිහවඩන ලකුණු 61*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් සටන්කාමී පිතිකරණයක නිරත වීම නිසා නාලන්දා විද්‍යාලයට මේ තරගයේ  පළමු ඉනිමේ වැඩි වාසිය හෝ ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

නිපුන් (4 පහර 4 – ලකුණු 50*) සහ තේනුක (ලකුණු 39) මේ තරගයේ දී කැපී පෙනෙන තුන් ඉරියව් දස්කම් දැක්වූවා. තරගය නිමා වන විට තර්ස්ටන් පළමු ඉනිම 180/8ක් ලෙස සටහන් වුනා.

මොරටුවේ දී අද ආරම්භ වුනු සාන්ත සෙබස්තියන් – මහනුවර ත්‍රිත්ව තරගයේ පළමු දිනය නිමා වන විට ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලබාගෙන සිටියා. ඒ සාන්ත සෙබස්තියන් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 87ක් පසුපසින් සිටිමින්.

කාසියේ වාසිය දිනා ගත් ත්‍රිත්ව ඇරයුමින් පළමුව පන්දුවට පහර දුන් සාන්ත සෙබස්තියන් විද්‍යාලය සිය පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 198ක් ලබා ගත්තා. මනුල කුලරත්න සහ විභාවිත් ඇහැලේපොලගේ දක්ෂ පන්දු යැවීම නිසා සාන්ත සෙබස්තියන් පළමු කඩුලු 6 ලකුණු 66ක් තුල බිඳ වැටුණා.

ඉන් අනතුරව 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ සෙනිත් ප්‍රනාන්දු සහ කේෂර මධූෂ ලකුණු 67ක සබඳතාවයක් ගොඩනංවමින් යම් ගෞරවාන්විත මට්ටමකට ඔවුන්ගේ ලකුණු සටහන රැගෙන යාමට අවශ්‍ය අඩිතාලම සකස් කළා.

පන්දු 151ක් සඳහා මුහුණ දුන් කේෂර 4 පහර 7ක් සහ 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 82ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට මනුල සමත් වුනු අතර සෙනිත් සහ ආරම්භක පිතිකරු සවිඳු ප්‍රනාන්දු ලකුණු 32ක බැගින් ලබා ගත්තා. පන්දු යැවීමේ දී වමතින් වේගපන්දු යවන මනුල සහ දකුණතින් වේගපන්දු යවන විභාවිත් පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් දවාගෙන දස්කම් දැක්වූවා.

නාලන්දා විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – නාලන්දා ක්‍රීඩාංගණය

නාලන්දා විද්‍යාලය – 223 (80): චනුල අතුකෝරළ 51, කුශ්මිත් සිල්වා 44, නිකිල් අභයගුණසේකර 32, සජිත විතානගේ 30, තේනුක දේවප්‍රිය 3/24, නිපුන්  ප්‍රේමරත්න 3/49.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 180/8 (60): නිපුන් ප්‍රේමරත්න 50*, තේනුක දේවප්‍රිය 39,

තරගය ජය පරාජයෙන් තොරව අවසන්


ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත සෙබස්තියන් ක්‍රීඩාංගණය

සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම – 198 (56.3): කේෂර මධූෂ 82, සෙනිත් ප්‍රනාන්දු 32, සවිඳු ප්‍රනාන්දු 32, විභාවිත් ඇහැලේපොල 4/37, මනුල කුලරත්න 3/37, දිනුක තෙන්නකෝන් 2/17.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 111/5 (32): පවන් පතිරාජ 34, රනුද සෝමරත්න 24*, සුපුන් වඩුගේ 22, සෙනිත් ප්‍රනාන්දු 2/18.

පළමු දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය හෙට (7) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි. හෙට (7) සහ අනිද්දා (8) ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය අතර පැවැත්වෙන සම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගය ThePapare.com ඔස්සේ සජීව ලෙස රැගෙන ඒමට සියල්ල සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<