අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් දෙවන කාණ්ඩයේ ශූරතාව සඳහා බොහෝ දෙනා සිතු පරිදි වැඩි බලාපොරොත්තුවක් තබා ගෙන සිටි රත්නම් ක්‍රීඩා සමාජය දඬුවම් පහර 3 – 1ක් ලෙස පරාජය කරමින් චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබන්නට ගෙලි ඔය පාපන්දු සමාජය සමත් විය.

2 වන කාණ්ඩයේ අවසන් මහා තරගයට පෙර දැක්මක්

වරෙක ශ්‍රී ලංකා පාපන්දු පිටියේ දැවැන්තයින් වූ රත්නම් ක්‍රීඩා සමාජයට, මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන කාණ්ඩයේ ශූරයන් වීමට තවත් ඇත්තේ එක් කඩුල්ලක් තරණය කිරීම පමණි.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ තීරණය සඳහා දඬුවම් පහර යොදා ගැනීමට සිදු වූයේ තරගයේ නියමිත කාලය මෙන්ම අතිරේක කාලය තුළදීත් එකඳු ගෝලයක් හෝ වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් වීම හේතුවෙනුයි.

මෙම අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව සමගම ලබන තරග වාරයේ දී පළමු කාණ්ඩය දක්වා උසස් වීම් ලබා සිටි රත්නම් ක්‍රීඩා සමාජය සහ ගෙලි ඔය පාපන්දු සමාජය අතුරින් දෙවන කාණ්ඩයේ ශූරයන් කවුරුන්ද යන්න තීරණය කෙරෙන ගැටුම දැක බලා ගැනීමට නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය පිරී ඉතිරී යන තරම් ක්‍රීඩාලෝලීන් පැමිණ සිටි අතර ඉන් වැඩි පිරිසක් අසල පිහිටි ගෙලි ඔය නගරයේ ජනතාව වීම හේතුවෙන් ගෙලි ඔය කණ්ඩායමට මෙය තම ගෙවත්තේ පැවැත්වෙන තරගයක් මෙන් විය.

තරග ආරම්භය බෙහෙවින් උදාසීන ස්වරූපයක් ගත්තේ කණ්ඩායම් දෙකම ආක්‍රමණයට වඩා පන්දුව තම කණ්ඩායම සතුව තබා ගැනීමට උත්සාහ දැරීම හේතුවෙනුයි.

මිනිත්තු 5ක් පමණ ගතවීමෙන් පසු රත්නම් කණ්ඩායම පළමු වරට ප්‍රතිවාදී දැල වෙත පන්දුව එල්ල කල ද එය කෙලින්ම ඇදී ගියේ නිවැරදිව ස්ථාන ගත වී සිටි දැල් රකින්නාගේ අතටයි.

කාලය ගත වෙත්ම වඩාත් උණුසුම් මුහුණුවරක් ගත් තරගය පන්දුවට වඩා ශක්තිය උරගා බැලෙන තත්ත්වයට පත් වූ අතර ක්‍රීඩකයන් කිහිපදෙනෙක්ම කහ කාඩ්පත් අවවාදයක් නොලබා ගැලවුනේ ඔවුන්ගේ වාසනාවට මෙනි. කෙසේ වෙතත් ප්‍රබල සටනකින් පසු පළමු අර්ධය අවසන් වුනේ ලකුණු පුවරුව 0 – 0 ක් ලෙස සටහන්ව තිබියදීයි.

පළමු අර්ධය : ගෙලි ඔය 00 – 00 රත්නම්

දෙවන අර්ධය ආරම්භයේ සිට මුල් මිනිත්තු 20ක් පමණ ගත වන තුරුම තරගයේ පාලනය මුළුමනින්ම තමන් සතු කරගන්නට ගෙලි ඔය පාපන්දු සමාජය සමත් වූ අතර, ඔවුන්ගේ අංක 10 ලෙස ක්‍රීඩා කල නයිජීරියානු ක්‍රීඩකයා ඉතා විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ගෝලයක් ලබා ගැනීමේ අසලටම පැමිණෙන්නට ද සමත් විය.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තු කිහිපය වන විට ගෙලි ඔය කණ්ඩායමේ ජවය සිඳී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබූ අතර රත්නම් කණ්ඩායම ප්‍රබල ලෙස නැවත තරගයට අවතීර්ණ විය. දෙවන අර්ධයේ ස්වර්ණමය අවස්ථාව හිමිවුණේ රත්නම් කණ්ඩායමටයි. ඔවුන්ගේ ප්‍රහාරක ක්‍රීඩකයාට වරෙක ගෝලය වෙත පන්දුව යොමු කිරීමට තිබු එකම බාධකය වුනේ ගෙලි ඔය දැල් රකින්නා පමණි. කෙසේ වෙතත් පන්දුව වෙත වේගයෙන් ඇදී ආ දැල් රකින ක්‍රීඩක මොහොමඩ් අතීක් විශිෂ්ට ලෙස පන්දුව තම ග්‍රහණයට ගත්තේ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවීමට වග බලා ගනිමිනුයි. ඔහුගේ සුළු අතපසු වීමක් වුවද රත්නම් කණ්ඩායමට දඬුවම් පහරක් හිමිවීමේ අවස්ථාවක් ව තිබුණි.

තරගය අතරතුර ආබාධ සහ කාලය අපතේ යාම් වෙනුවෙන් ලබා දෙන අතිරේක මිනිත්තු කිහිපය තුල ගෙලි ඔය කණ්ඩායමට නිදහස් පහරක් හිමිවුවද එම පහර ගෝල කණුවේ වැදී පිටියෙන් ඉවතට යොමු විය. මේ අනුව තරගයේ නියමිත මිනිත්තු 90 අවසන් වීම හේතුවෙන් විනිසුරුවන් පියවර ගත්තේ ශූරතා හිමිකරුවන් තෝරා ගැනීම සඳහා දඬුවම් පහර යොදා ගැනීමටයි.

සම්පූර්ණ කාලය: ගෙලි ඔය 00 – 00 රත්නම්

දඬුවම් පහර එල්ල කිරීමේ දී පළමු අවස්ථා කණ්ඩායම් දෙකටම සාර්ථක කර ගැනීමට නොහැකි විය. එහිදී ගෙලි ඔය දැල් රකින්නා විශිෂ්ට පන්දු වැළැක්වීමක යෙදෙනු දක්නට ලැබුණි. දෙවන අවස්ථාව සඳහා ලැබුණු දඬුවම් පහර කණ්ඩායම් දෙකම සාර්ථකව එල්ල කලේ තරගය යලිත් වරක් සම තත්ත්වයට ගෙන එමිනුයි. කෙසේ වෙතත් රත්නම් කණ්ඩායමට තුන් වන දඬුවම් පහර නිවැරදිව එල්ල කරන්නට නොහැකි වීමත් සමඟ ගෙලි ඔය ක්‍රීඩකයන් ඔවුන්ගේ තුන් වන දඬුවම් පහර සාර්ථක කර ගත්තේ පළමු වරට තරගයේ පෙරමුණ ගනිමිනුයි. රත්නම් කණ්ඩායමට සිව්වන දඬුවම් පහරත් ගිලිහී යාමත් සමඟ ගෙලි ඔය ක්‍රීඩකයන්ට ශූරතාව සඳහා අවශ්‍ය වුනේ තවත් එක් දඬුවම් පහරක් දැල වෙත එල්ල කිරීම පමණයි. ලද ඊළඟ අවස්ථාවෙන්ම එය ඉටු කරගත් ගෙලි ඔය පාපන්දු සමාජය මෙවර අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් දෙවන කාණ්ඩයේ ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් විය.

දඬුවම් පහර:  ගෙලි ඔය 03 – 01 රත්නම්.

ThePapare.com තරගයේ වීරයා: මොහොමඩ් අතීක් (ගෙලි ඔය පාපන්දු සමාජය – දැල් රකින ක්‍රීඩක.)

දඬුවම් පහර වාර්තා කල ක්‍රීඩකයන්

  • ගෙලි ඔය පාපන්දු සමාජය – ඔඩෙල් එවන්ස්, මොහොමඩ් රුස්ති, L. D. කරුණාසිංහ..
  • රත්නම් ක්‍රීඩා සමාජය – K K තියාගෝ

කහ කාඩ්පත් අවවාද ලැබූ ක්‍රීඩකයන්

  • ගෙලි ඔය  – මොහොමඩ් හසීෆ්  20’, S. K. මොහොමඩ්  62’, අදියු ඉසාක් 76’
  • රත්නම්  – මොහොමඩ් මුෂාරෆ්  30’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<