අනර්ඝ ක්‍රීඩා අත්දැකීමක් යලි තිලිණ කරන්නට රග්බි කෙළිබිම සූදානම්

585
Dialog Rugby League week 1 Preview

සති දෙකක නිහැඬියාවකින් පසු මෙරට රග්බි ලෝලීන්ට යලිත් වරක් ක්‍රීඩාංගන වෙත ඇදීමේ අවස්තාව හිමිවී තිබේ. ඒ වසරේ වඩාත් ආකර්ශනීය රග්බි ඉසව්වක් වන ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ආරම්භය මේ සති අන්තයේ සටහන් වීමත් සමගයි. මෙවර 2016/17 තරග වාරය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයෙන්.

පසුගිය ලිපි: පොලිස් කණ්ඩායම ප්‍රතිප්‍රහාරය සඳහා සීරුවෙන්

නොවැම්බර් පළමු සති අන්තයෙන් ආරම්භ වන ඩයලොග් ලීග් රග්බි තරගාවලිය සති 14ක් පුරා මෙරට රග්බි ලෝලීන්ට විශිෂ්ට ගනයේ ක්‍රීඩාශීලී අත්දැකීමක් තිලිණ කරන්නට සැදී පැහැදී සිටින අතර ලබන වසරේ මුල් භාගය දක්වා එක් සති අන්තයකට තරග 4 බැගින් සංවිධාන කර තිබේ. ඉන් අනතුරුව ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියත් පැවැත්වීමට නියමිතයි.

ThePapare.com රග්බි තොරතුරු ගොනුවට පිවිසෙන්න

පළමු සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග තොරතුරු පහත දැක්වේ.

පළමු තරගය

  • පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර
  • දිනය : 2016 නොවැම්බර් 4 වන සිකුරාදා
  • ආරම්භ වන වේලාව : පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය : පොලිස් ක්‍රීඩාංගණය – බම්බලපිටිය

මෙවර තරගාවලිය ආරම්භ වන්නේ පසුගිය වසරේ ලීග් ශූරතා ලකුණු සටහනේ 4 වන සහ 5 වන ස්ථාන දිනා ගත් කණ්ඩායම් අතර තරගයෙනුයි. පොලිස් භටයන් තම සත්කාරක ක්‍රීඩාංගනයට නාවිකයන් පිළිගනු ලබන්නේ හෙට (නොවැම්බර් 4 වන සිකුරාදා) පස්වරු 4 ටයි. මේ කණ්ඩායම් දෙක අවසන් වරට තරග වැදුනේ පසුගිය ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ තරගයකදීයි. එහිදී නාවිකයන් ලකුණු 16 – 11ක් ලෙස පරදවන්නට සත්කාරක පොලිස් කණ්ඩායමට හැකි විය. නමුත් ඊට පෙර පළමු වටයේදී නාවික හමුදා ක්‍රීඩාංගණයේදී මේ කණ්ඩායම් දෙක මුණ ගැසුණු අවස්ථාවේ තරගය අවසන් වූයේ ලකුණු 27 – 24 ක් ලෙස තියුණු ජයක් නාවිකයන්ට හිමි කර දෙමිනුයි.

පසුගිය වසරේ රග්බි තරු රැසක් පිරිවරා ක්‍රීඩා කල පොලිස් කණ්ඩායම මෙවර අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන මුෂීන් ෆලීල්, අබ්සාල් මොහොමඩ් සහ අචල පෙරේරා යන ක්‍රීඩකයන් කෙරෙහි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ වැඩි බරක් කරට ගනු ඇතැයි බලාපොරොත්තු සහගතව ක්‍රීඩා කරනු ඇත.

නාවිකයන් පසුගිය වසරේ කණ්ඩායමට වැඩි වෙනසක් නොකරමින් මෙවර තරගාවලියට එක්ව සිටින අතර දස්කම් අතර සිටින ක්‍රීඩකයන් වන තිලින වීරසිංහ, ලී කීගල් සහ චානක චන්දිමාල් වැනි ක්‍රීඩකයන්ගේ ශක්තිය සමගින් ඔවුන් මේ මංගල තරගයට එක්වන්නේ ජයග්‍රහණය සඳහා වැඩි වාසි සහිත කණ්ඩායම ලෙසයි.

මෙම තරගය සජිවීව නරඹන්න පිවිසෙන්න


දෙවන තරගය

  • මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC ක්‍රීඩා සමාජය අතර
  • දිනය : 2016 නොවැම්බර් 5 වන සෙනසුරාදා
  • ආරම්භ වන වේලාව : පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය : මහනුවර ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගනය – නිත්තවෙල

CH&FC ක්‍රීඩා සමාජය මෙවර තරගාවලියේ තම පළමු තරගය සඳහා කන්ද උඩරට බලා ගමන් කරන්නේ පසුගිය වසරේ ශූරයන් වන මහනුවර ක්‍රීඩා සමාජය සමගින් තරග වදින්නටයි. රොෂාන් වීරරත්නගේ නායකත්වයෙන් තරග බිමට පිවිසෙන මහනුවර රග්බි ප්‍රබලයන් මෙරට රග්බි ඉතිහාසයේ අවස්ථා රැසකදී රචනා කල සාර්ථක අවසානයක් සහිත ශූරතා නාටකය මෙවරත් එලෙසම රඟ දැක්වීමට සූදානමින් සිටියි. එමෙන්ම පසුගිය තරග වාරයේදී වැඩි දස්කම් ප්‍රකට කිරීමට නොහැකිවූ CH&FC ක්‍රීඩා සමාජය සමග තරගයේදී මෙවර තරග වාරය සඳහා තම කණ්ඩායම සමගින් අලුතින් එක්වූ ක්‍රීඩකයන්ගේ ශක්තිය උරගා බැලීමටත් මහනුවර ක්‍රීඩා සමාජය පසුබට නොවනු ඇත.

පසුගිය වසරේ තරගාවලියේදී CH&FC ක්‍රීඩා සමාජය දෙවරක් මහනුවර ක්‍රීඩකයන් හමුවූ අතර එවර පළමු සතියේ පැවති තරගයේදී මහනුවර ක්‍රීඩකයන් ලකුණු 80ක් රැස් කරද්දී CH&FC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3ක් පමණයි. දෙවන වටයේ තරගයද අවසන් වුනේ CH&FC ක්‍රීඩා සමාජයට ලකුණු 78 – 13 ක දැවැන්ත පරාජයක් උරුම කර දෙමිනුයි.  


තෙවන තරගය

  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර
  • දිනය : 2016 නොවැම්බර් 5 වන සෙනසුරාදා
  • ආරම්භ වන වේලාව : පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය : ගුවන් හමුදා ක්‍රීඩාංගනය – රත්මලාන

පසුගිය වසරේ ලීග් අනුශූරයන් වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර තම මංගල තරගයට එක් වන්නේ පසුගිය වසරේ 7 වන ස්ථානයට පත්වූ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමගිනුයි. ගුවන් භටයන් හට පසුගිය තරග වාරයේදී CH&FC ක්‍රීඩා සමාජය දෙවරක් පරාජය කිරීම හැර වෙනත් සාර්ථක අවසානයක් අත්විඳීමට නොහැකි විය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමහරෙක් අහිමි වුවද යොවුන් දක්ෂයන් රැසක් සමගින් ශූරතා සටනේ ප්‍රභල පාර්ශවයක් වන හැව්ලොක් කණ්ඩායමට මහනුවර සහ CR&FC වැනි කණ්ඩායම් සමග පැවැත්වෙන ඉදිරි තරග සඳහා සූදානම් වීමට මෙම තරගය මහඟු අවස්තාවක් වනු ඇත.

පසුගිය වසරේ මේ කණ්ඩායම් දෙක හමුවූ අවස්ථා දෙකේදීම ජය හිමි වූයේ හැව්ලොක් ක්‍රීඩා සමාජයටයි. එම තරග වල ලකුණු තත්වයන් 36 – 08 ක් සහ 38 – 05 ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් ගුවන් හමුදා කණ්ඩායම මෙම තරගයේදී හැව්ලොක් කණ්ඩායමට අභියෝගයක් එල්ල කරන්නට නම් චරිත් සෙනෙවිරත්න සහ නුවන් පෙරේරා වැනි ක්‍රීඩකයන් තම ඉහලම දස්කම් අතරට පැමිණිය යුතු වෙයි.

මෙම තරගය සජිවීව නරඹන්න පිවිසෙන්න


සිව්වන  තරගය

  • CR&FC ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර
  • දිනය : 2016 නොවැම්බර් 6 වන ඉරිදා
  • ආරම්භ වන වේලාව : පස්වරු 4.00
  • තරගය පැවැත්වෙන ස්ථානය : තුරග තරග රග්බි ක්‍රීඩාංගනය – කොළඹ – 07

CR&FC ක්‍රීඩා සමාජය මෙවර තම පළමු තරගයට එක්වන්නේ නැවත නැගී සිටින්නට වෙර දරන යුද හමුදා ක්‍රීඩා සමාජය සමගයි. පසුගිය තරග වාරයේ පළමු වටය තුලදී ඉහල තරගකාරීත්වයක් පෙන්නුම් කල සොල්දාදුවන් හට දෙවන වටයේදී තම සටන එතරම් සාර්ථක කර ගැනීමට නොහැකි විය. එම තරගාවලියේදී යුද හමුදාව සමග පැවති තරග දෙකම ජය ගන්නට CR&FC ක්‍රීඩා සමාජය සමත් විය. පළමු තරගයේදී ලකුණු 35 – 15 ක් ලෙස පහසු ජයක් CR&FC කණ්ඩායමට හිමි වුවත් දෙවන තරගයේදී ඔවුන් ජය ගත්තේ ලකුණු 19 – 13 ක් ලෙස සටහන් වූ තියුණු තරගයකින් අනතුරුවයි.   

CR&FC ක්‍රීඩා සමාජ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වූ කාංචන රාමනායක සහ ජේසන් දිසානායකගේ නික්මයාම ඔවුන්ට පාඩුවක් වුවත් එම අඩුව පිරවීම සඳහා ඔමල්ක ගුණරත්න සහ කුෂාන් ඉඳුනිල් වැනි ක්‍රීඩකයන් සැදී පැහැදී සිටියි. කෙසේ වෙතත් පසුගිය අත්දැකීම් අනුව කිව හැකි වන්නේ, මේ තරගයේ ප්‍රබල කණ්ඩායම වන CR&FC ක්‍රීඩා සමාජය මවිත කරන දස්කමක් ප්‍රකට කිරීමට යුද හමුදා කණ්ඩායමටද නොහැකියාවක් නොමැති බවයි.

මෙම තරගය සජිවීව නරඹන්න පිවිසෙන්න

රග්බි ලීගයේ සියළු තරග වාර්තාවන්, ඡායාරූප, සජීවි තරග වීඩියෝ සහ තවත් බොහෝ දෑ සඳහා ThePapare.com සමඟ රැදී සිටින්න.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට