19න් පහළ පාසල් ක්‍රිකට් අවසන් මහා තරගවලට අලුත් දවස්

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2021/22

728
U19 Schools Cricket Tournament 2021/22

පවතින අයහපත් කාලගුණ තත්වය නිසා වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ අවසන් මහා තරග දෙක මේ මස 19 වැනිදා සහ 20 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ මස 11 වැනිදා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ පළමු පෙළ Tier B අවසන් මහා තරගය මේ මස 19 වැනිදා (අගහරුවාදා) දක්වා කල් දමා තිබෙනවා.

අවසන් පූර්ව තරගවල දී මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පරාජය කරමින් තර්ස්ටන් විද්‍යාලය පළමු පෙළ Tier B අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, සාන්ත පීතර විද්‍යාලය විසින් ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එසේම එහි Tier A කොටසේ අවසන් මහා තරගය ද මේ මස 20 වැනිදා (බදාදා) දක්වා කල් දමා තිබෙන අතර එම තරගයේ දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරග වැදීමට නියමිතයි.

අවසන් පූර්ව තරගවල දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පරාජය කරමින් සාන්ත ජෝසප් විද්‍යාලය පළමු පෙළ Tier A අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනිද්දී, රිච්මන්ඩ් විද්‍යාලය විසින් කොළඹ මහානාම විද්‍යාලය පරාජයට පත් කරමින් මේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ පොලිස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන එම තරග දෙකම (පළමු පෙළ Tier A සහ Tier B අවසන් මහා තරග) ThePapare.com සහ Batsman.com සහ Dialog TV නාලිකා අංක 140 හරහා සජීව ලෙස නැරඹීමට හැකියි.

මෙහි දෙවැනි පෙළ තරගාවලියේ Tier A කොටසේ අවසන් මහා තරගය පසුගිය 9 වැනිදා BRC පිටියේ දී නිමාව දුටු අතර නොකඩවා දෙවැනි වරටත් දෙවැනි පෙළ Tier A ශූරතාවය දිනා ගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් වුනා. එහි දී ශ්‍රී සුමංගල විද්‍යාලය හමුවේ කඩුලු 7කින් පරාජය වුනේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයයි.

හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය සහ අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විද්‍යාලය අතර පසුගිය 10 වැනිදා කොළඹ BRC පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබුණු දෙවැනි පෙළ Tier B කොටසේ අවසන් මහා තරගය ද වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා පැවැත්වීමට හැකි වුනේ නැහැ. ඒ නිසාවෙන් එම පාසල් දෙක සඳහා සම ශූරතාවය ලබා දීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කළා.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<