නැමීබියාවට සහ පැපුවා නිව් ගිනියාවටත් ජාත්‍යන්තර එක්දින වරම්

248

මේ දිනවල පැවැත්වෙන දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් හතර අතරට පැමිණි නැමීබියාව සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් දෙකටද ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලැබී ඇත.

තවත් ප්‍රබල රටවල් දෙකකට ජාත්‍යන්තර එක්දින වරම්

මේ දිනවල පැවැත්වෙන ලෝක දෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ හොංකොං…..

ඒ අනුව එම තරගාවලිය අවසානයේ ඕමානය, නැමීබියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පැපුවා නිව් ගිනියාව යන රටවල් වලට ඉදිරි වසර 3ක කාලය සඳහා ජාත්‍යන්තර එක්දින වරම් හිමිවිය.

ඊයේ (26) දිනයේ පැපුවා නිව් ගිනියාව සහ ඕමානය අතර පැවති තරගයෙන් පැපුවා නිව් ගිනියාව ලකුණු 145ක දැවැන්ත සහ පහසු ජයක් ලබාගැනීම නිසාවෙන් ඔවුන්ට මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතරට පැමිණීමට හැකිවිය.

ඒ දක්වා තරගාවලියේ අපරාජිතව සිටි, ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක දුලීප් මෙන්ඩිස් මහතාගේ පුහුණුකාරීත්වයෙන් යුත් ඕමාන කණ්ඩායම යම් හෙයකින් ඊයේ තරගය ජයගත්තේ නම් පැපුවා නිව් ගිනියා කණ්ඩායමට උදාවූ අවස්ථාව කැනඩා කණ්ඩායමට ලැබීමට තිබුණි. නමුත් එය එසේ සිදුනොවුනේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩා විලාසය හේතුවෙනි.

එසේම කැනඩාව සහ ඇමරිකාව අතර ඊයේ දිනයේම පැවති තරගය කැනඩා කණ්ඩායම ලකුණු 40කින් ජයගත් නමුත් පැපුවා නිව් ගිනියා කණ්ඩායම ඕමානයට එරෙහිව ලබාගත් දැවැන්ත ජය (ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දළ ලකුණු ලබාගැනීමේ වේගයට බලපෑමක් වන නිසා) සහ ඇමරිකා කණ්ඩායම ලකුණු 212කට අඩුවෙන් සීමා කරගැනීමට කැනඩා කණ්ඩායම අපොහොසත් වීම යන කරුණු නිසාවෙන් කැනඩා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පළමු කණ්ඩායම් 4 අතරට ඒමට වරම් නොලැබිණි.



ඒ අනුව මෙම තරගාවලිය අවසානයේ කණ්ඩායම් 4කට (ඕමානය, නැමීබියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ පැපුවා නිව් ගිනියාව) ජාත්‍යන්තර එක්දින වරම් හිමි වූ අතර එය 2023 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 2022 වසරේ පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය දක්වා බලපැවැත්වේ.

එම කණ්ඩායම් 4ට අමතරව ස්කොට්ලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය සහ නෙදර්ලන්තය යන කණ්ඩායම් වලටද 2023 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් 2022 වසරේ පැවැත්වෙන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ අවසානය දක්වා ජාත්‍යන්තර එක්දින වරම් ලැබෙනු ඇත. තවද මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත ස්ථිර ජාත්‍යන්තර එක්දින වරම් දිනාගෙන තිබෙන කණ්ඩායම් ගණන 12කි.

                                   >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<