තිලාන් හා නමුශ්කගෙන් විශිෂ්ඨ දස්කම්!

409
U19 Schools Cricket

තිලාන් නිමේෂ්ගේ විශිෂ්ඨ ශතකයත් (111), නමුශ්ක ද සිල්වාගේ සුපිරි පන්දු යැවීමත් (8/42) සමඟින් සිංගර් 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයකම ආරම්භය අද (06) සටහන් විය.

පසුගිය ලිපි: නාලන්ද ක්‍රීඩක රසාංජනගෙන් විශිෂ්ඨ දස්කම්

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරඟය

අද (06) වේල්ස් කුමර විද්‍යාල පිටියේදී  ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සත්කාරක වේල්ස් විද්‍යාලය, පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ඩී. එස්. සේනානායක විද්‍යාලය, කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියි.

වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පිතිකරණයක නිරත වූ තිලාන් නිමේෂ් ලකුණු 111ක් ලබා ගනිමින් විශිෂ්ඨ පිතිහරඹයක් දියත් කරන ලදි. ඔහුට අගනා සහයක් ලබාදෙමින් ඩී. එස්. සේනානායක පන්දු යවන්නන්ට හිසරදයක් වන සබඳතාවයක් ගොඩනැංවූ අවිදු ගනේශ් ලකුණු 48ක් ලබා ගැනීමට සමත් විය. ටොරින් පිටිගල කඩුලු 3යි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 266 dec (පන්දුවාර 60.4): තිලාන් නිමේෂ් 111, අවිදු ගනේශ් 48, දිලංක මදුරංග 42, ටොරින් පිටිගල 3/43

ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී)  – 63/3 (24.1): ශෂික ගමගේ 25, තිලාන් නිමේෂ් 2/13

ඩී. එස්. සේනානායක විද්‍යාලය වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 203ක් පසුපසින් පසුවෙයි.


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

සාන්ත පීතර විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර ආනන්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පළමුව පන්දුවට පහරදෙන ලදි. පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ආනන්ද විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 122යි.

සාන්ත පීතර පළමු ඉණිම වර්ණවත් කරමින් ලකුණු 77ක් වාර්තා කල සාලිත් ප්‍රනාන්දු අගනා පිතිකරණයක නිරත වෙමින් ප්‍රතිවාදී ආනන්ද තණතීරුවේ දස්කම් දැක්විය. පන්දුවෙන් දස්කම් දැක්වූ සුපුන් වරාගොඩ හා දිලීප ජයලත් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් විය. ආනන්ද විද්‍යාලයේ පළමු ඉණිමට කවිදු ගිම්හාන, සාලිත්ගේ පිතිකරණයට නොදෙවෙනි ඉණිමක් දියත් කරමින් ලකුණු 73ක් ලබා ගන්නා ලදී.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 182 (පන්දුවාර 61.3): සාලිත් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 45, සුපුන් වරාගොඩ 3/28 , දිලීප ජයලත් 3/50

ආනන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 5ක් දැවී ලකුණු 122 (පන්දුවාර 33): කවිදු ගිම්හාන 73, මොහොමඩ් අමීන් 3/21

ආනන්ද විද්‍යාලය සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 60ක් පසුපසින් පසුවෙයි.


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරඟය

වෙස්ලි විදුහල් පිටියේදී කාසියේ වාසිය ලබාගත් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින වෙස්ලි විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 57ක් ලබාගෙන සිටියි.

ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ මෙම තරගාවලියේ තවත් අර්ධ ශතකයක් තම ක්‍රිකට් දිවියට එක්කරගනිමින් ලකුණු 60ක් වාර්තා කලේය. අනෙක් අන්තයෙන් ක්‍රීඩා කල නිපුන් සුමනසිංහ හා පහන් පෙරේරා පිළිවෙලින් ලකුණු 56ක් හා 51ක් බැගින් රැස්කරගත් අතර, මොවින් සුභසිංහ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන්  කඩුලු 3ක් දවාගන්නා ලදි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 9ක් දැවී ලකුණු 268 dec (පන්දුවාර 72.5): ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 60, නිපුන් සුමනසිංහ 56, පහන් පෙරේරා 51, දිනෙත් මදුරාවල 42, මොවින් සුභසිංහ 3/55

වෙස්ලි විද්‍යාලය පළමු ඉණිම  (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 2ක් දැවී ලකුණු 57 (පන්දුවාර 20): අනුජ අක්මීමන 29*

වෙස්ලි විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 211ක් පසුපසින් පසුවෙයි.


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය අතර තරඟය

ද මැසනොඩ් තණතීරුවේ දී කාසියේ වාසිය හිමිකර ගනිමින් සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව උදාකරගන්නා ලදි. දිනය අවසන් වන විට තම දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 74ක් ලබාගෙන සිටියි.

ටශික පෙරේරා යළිත් ප්‍රතිවාදී පිටියේදී ලකුණු 60*ක් වාර්තා කිරීමට සමත් විය. දිනෙත් ප්‍රනාන්දු ලකුණු 20කට කඩුලු 6ක් දවාලමින් දස්කම් දැක්වීය.

අනතුරුව තම පිළිතුරු පළමු ඉණිමට ද මැසනොඩ් විද්‍යාලයට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 120ක් පමණි. නමුශ්ක ද සිල්වා ලකුණු 42කට කඩුලු 8ක් දවාලමින් පළමු ඉණිමේ වාසිය තම විද්‍යාලයට හරවාදෙමින් පැසසුමට ලක්වන පන්දු යැවීමක නිරත විය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 139 (පන්දුවාර 32.2): ටශික පෙරේරා 60*, අශේන් වර්ණකුලසූරිය 32, දිනෙත් ප්‍රනාන්දු 6/20

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 120 (පන්දුවාර 31): මිතිල ගීත් 39*, නමුශ්ක ද සිල්වා 8/42

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ‍දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 74 (පන්දුවාර 21): නුවනිදු ප්‍රනාන්දු 28*

සාන්ත සෙබස්තියන් විද්‍යාලය ද මැසනොඩ් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 93ක් පෙරමුණේ සිටියි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට