සාන්ත පීතර විද්‍යාලයට අමතක නොවන ජයක්

696
U19 Schools Cricket

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (22) පැවැත්වූ අතර, ඊයේ (21) ආරම්භ වූ තරඟයෙන් සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නට සමත් විය.

පසුගිය ලිපි: ශතක දෙකක් සමඟ ජයග්‍රහණය මහානාමයට

කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය A කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (21) ගම්පොළ වික්‍රමබාහු පිටියේදී ආරම්භ විය. කාසියේ වාසිය හිමිකරගත් සාන්ත පීතර විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. මෙම තරඟයෙන් කඩුලු 9ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නට සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

අද තරගයේ දෙවන හා අවසන් දිනය ආරම්භ කරන විට සාන්ත පීතර විද්‍යාලය තම පළමු ඉණිමට කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා සිටි අතර සාලිත් ප්‍රනාන්දු ඒ වන විට නොදැවී ලකුණු 46*ක් වාර්තා කර තිබුනි. ඔහු එම ඉණිම අද ලකුණු 77ක් දක්වා ඔසවා තබමින් සාන්ත පීතර විද්‍යාලීය පිතිකරණයේ ජවය විදහා දක්වන ලදි. අනතුරුව ඔහු  සමඟින් එක්වූ මනෙල්ක ද සිල්වා ද එම ඉණිමට නොදෙවෙනි පහර කිහිපයක්ම එල්ල කරමින් ලකුණු 79ක් පීතර ලකුණු පුවරුවට එක්කරන ලදි. අවසානයේ ඔවුන්ගේ පළමු ඉණිම ලකුණු 223කට සීමා විය.

සාන්ත මරියා විද්‍යාලයට ඉණිමක පරාජයෙන් ගැලවීමට තම දෙවන ඉණිම සඳහා ලකුණු 72ක් ලබා ගැනීමට නියමිතව තිබූ අතර, ඔවුන්ගේ දෙවන ඉණිම ලකුණු 72කටම සීමාකරවමින් නොසිතූ තරඟයක අත්දැකීමක් ප්‍රේක්ෂකාගාරයට එක්කිරීමට මොහෙමඩ් අමීන් ප්‍රමුඛ පීතර පන්දු යවන්නන් සමත් විය. සාන්ත මරියා විද්‍යාලයේ දෙවන ඉණිම වෙනුවෙන් ලකුණු 28*ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමට සංජය රංජිත් සමත් විය. මොහොමඩ් අමීන් සාන්ත මරියා විද්‍යාලයේ දෙවන ඉණිමේ දී ලකුණු 41කට කඩුලු 4ක් දවාගන්නා ලදි.

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 151 (පන්දුවාර 50.4): ගජිත කොටහේගොඩ 33, මොහොමඩ් අමීන් 4/41, සචින් සිල්වා 3/19, චතුර ඔබේසේකර 3/46

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 223 (පන්දුවාර 64.2): මනෙල්ක ද සිල්වා 79, සාලිත් ප්‍රනාන්දු 77, සන්තුෂ් ගුණතිලක 28

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 72 (පන්දුවාර 44.2): සංජය රංජිත් 28*, මොහොමඩ් අමීන් 4/30, සචින් සිල්වා 3/18, චතුර ඔබේසේකර 3/21

සාන්ත පීතර විද්‍යාලය දෙවන ඉණිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 4 (පන්දුවාර 0.4):


කොළඹ නාලන්ද විද්‍යාලය හා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ද A කාණ්ඩයේ තරඟයක් ලෙසින් අද (22) කොළඹ නාලන්ද විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ අතර, පිටියේ වාසිය ද ඇතිව කාසියේ වාසිය ජයග්‍රහණය කල නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින ධර්මපාල විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටියි.

නාලන්ද විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉණිමට ලකුණු 307ක් ලබා ගන්නට අවිශ්ක පෙරේරා ශතකයක් වාර්තා කරමින් විශාල මෙහෙයක් සිදුකල අතර, ඔහු ලකුණු 109ක් ලබා ගැනීමට මනරම් පහර කිහිපයක්ම එල්ල කරන ලදි. දසුන් සෙනෙවිරත්න ලකුණු 48ක් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට එකතු කරන ලදි. අවසානයේ ලකුණු 307ක් ලබාගෙන ඔවුන් තම ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. ඉණිම අත්හිටුවන විට කසුන් සඳරුවන් නොදැවී ලකුණු 45*ක් ලබාගෙන සිටි අතර, තවත් ලකුණු 5ක් පමණක් තම අර්ධ ශතකයට ලබා ගන්නට අවශ්‍යව තිබියදී එසේ කිරීම තරමක් විශ්මය දනවන කරුණකි. මහීම වීරකෝන් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවාලන ලදි.

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල ධර්මපාල විද්‍යාලයට සාර්ථක සබඳතාවයක් ගොඩනැංවීමට නාලන්ද පන්දු යවන්නන් ඉඩකඩ ලබාදුන්නේ නැත.

නාලන්දා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 307 dec (පන්දුවාර 65): අවිශ්ක පෙරේරා 109, දසුන් සෙනෙවිරත්න 48, කසුන් සඳරුවන් 45*, මාලිංග අමරසිංහ 35, මහීම වීරකෝන් 3/89

ධර්මපාල විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කඩුලු 6ක් දැවී ලකුණු 65 (පන්දුවාර 28):

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට