නොකඩවා දෙවරක් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි ශූරයන් සහ පසුගිය වසරේ ශූරතා ත්‍රිත්වයේම හිමිකරුවන් ලෙස මෙවර 2016/17 අන්තර් සමාජ තරග වාරයට එක්ව සිටින කන්ද උඩරට රග්බි දැවැන්තයන් වන මහනුවර ක්‍රීඩා සමාජය, වරෙක ඔවුන් හඳුන්වනු ලැබූ ‘පරාජය කල නොහැකි’ විරුදාවලිය නැවත හිමි කර ගැනීමේ ගමනක සාර්ථකව ඉදිරියට ඇදීමේ පෙර ලකුණු පෙන්වා ඇත.

පසුගිය ලිපි:  CH & FC පැදුරෙනුත් බිමට නොවැටී සිටීමේ උත්සාහයක

19 වන ශත වර්ෂයේදී බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් විසින් ආරම්භ කරනු ලැබූ මහනුවර ක්‍රීඩා සමාජය, පළමුවෙන්ම ප්‍රචලිතව පැවතුනේ හොකී ක්‍රීඩාවට යි. 20 වන සියවසේ මුල් භාගය තුල රග්බි ක්‍රීඩාව හඳුන්වා දීමෙන් පසු කෙමෙන් කෙමෙන් රග්බි කරලියේ ඉදිරියට ඇදුනු මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ක්‍රීඩාංගනය වන නිත්තවෙල ක්‍රීඩාංගනය 1940 දශකයේ සිටම මහනුවර ප්‍රදේශයේ ආකර්ශනීය ස්ථානයක් ලෙස සැලකෙයි.

1950 දශකයේ සිට 1980 දශකය අවසානය දක්වා ලීග් රග්බි අනුශූරතා 4 ක් හැරුණු විට අන් කිසිදු සැලකිය යුතු ජයග්‍රහණයක් ලබාගෙන නොමැති මහනුවර ක්‍රීඩා සමාජයේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ 1992 ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමත් සමගයි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි ඉතිහාසයේ විශිෂ්ටතම පෙරලිකරුවන් බවට පත්වන මහනුවර ක්‍රීඩා සමාජය ඉන් අනතුරුව එලැඹි වසර 25 තුල ලීග් රග්බි ශූරතා 17කට සහ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි ශූරතා 20කට හිමිකම් කියා ඇත. 2001 වසරේ සිට නොකඩවා වසර 11ක් පුරා අපරාජිත ලීග් ශූරයන් ලෙස රැඳී සිටීම රග්බි කරලියේ මහනුවර ක්‍රීඩා සමාජය සතු බල පරාක්‍රමය මනාව පිළිබිඹු කරන කැඩපතකි.

මහනුවර ක්‍රීඩා සමාජයේ රග්බි තොරතුරු ගොනුව වෙත පිවිසෙන්න

2012 වසරේදී මහනුවර රග්බි ආධිපත්‍ය බිඳ දමමින් වසර 12කට පසු ලීග් රග්බි කිරුල කොලොම් තොටට රැගෙන එන්නට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත් වූ අතර 2013/14 තරග වාරයේදී එම කිරුල හිමි කරගත්තේ නාවික හමුදා ක්‍රීඩා සමාජයයි. කෙසේ වෙතත් 2014/15 තරග වාරයේදී මහනුවර කණ්ඩායමේ ගිලිහුණු අභිමානය නැවත ලබා ගැනීමේ පෙරමුණ ගත් ෂෝන් විජේසිංහ, ශ්‍රී ලංකා රග්බි අභිමානය නැවත කන්ද උඩරට වෙත හිමි කර දෙන්නට සමත් විය. අනතුරුව රොෂාන් වීරරත්නගේ ද සහය ඇතිව පසුගිය තරග වාරය තුලදී අන්තර් සමාජ සත් සාමාජික, අන්තර් සමාජ ලීග් සහ ක්ලිෆර්ඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය යන ශූරතා ත්‍රිත්වයම නිත්තවෙල වෙත රැගෙන යන්නට ෆාසීල් මරීජා සමත් විය.

මහනුවර සුක්කානම රොෂාන් වීරරත්නට.

පසුගිය තරග වාරයේදී ෆාසීල් මරීජා ආරම්භ කල රාජකාරිය සාර්ථකව අවසන් කල රොෂාන් මෙවරද මහනුවර කණ්ඩායමට නායකත්වය සපයන්නේ ෆාසීල් මරීජා ආබාධයකට ලක්ව සිටීම හේතුවෙනුයි. කිංග්ස්වුඩ් විදුහලෙන් රග්බි කරලියට දායාද වූ රොෂාන් වීරරත්න හට නායකත්වය අලුත් අත්දැකීමක් නොවන අතර මෙරට සුපිරි රග්බි තරු රැසක් පිරි මහනුවර කණ්ඩායම මෙහෙයවීම ඔහුට එතරම් අභියෝගයක්ද නොවනු ඇති.

2008 වසරේ සිට මහනුවර ක්‍රීඩා සමාජයේ වර්ණයෙන් සැරසී සිටින වීරරත්න පවුලේ බාල සොහොයුරා වන රොෂාන්, මෙරට විශිෂ්ටතම ගනයේ හාෆ් බැක් ක්‍රීඩකයෙක් වීම හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද එම ස්ථානය වෙන්වී තිබේ.

ප්‍රධාන ක්‍රීඩකයන්.

මෙවර තරග වාරය සඳහා සිදුවූ ක්‍රීඩක හුවමාරු අතර වැඩිම අවධානයක් දිනා ගත්තේ ධනුෂ්ක රන්ජන් මහනුවර ක්‍රීඩා සමාජය සමඟ එක්වීමයි. ධනුෂ්ක මෙන්ම ඔහු සමඟින්ම මහනුවර කණ්ඩායමට එක්වූ කාංචන රාමනායක මහනුවර ක්‍රීඩා සමාජයේ ත්‍රී-ක්වාටර් සැකැස්ම තවත් ශක්තිමත් කිරීමට දායක වනු ඇත. එමෙන්ම මහනුවර කණ්ඩායමේ පසු පෙළ ශක්තිය ධනුෂ්ක රන්ජන්ගේ සුපිරි ක්‍රීඩා විලාශය එලෙසින්ම රඳවා ගැනීමට උපකාරී වනු ඇත.

Dialog Rugby League Hub

මහනුවර කණ්ඩායමේ වින්ග්-ත්‍රී ස්ථානයක් වෙන් කරගෙන සිටින ධනූෂ දයාන් පසුගිය තරග වාරයේ දස්කම් හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ මෙන්ම ජාතික සත් සාමාජික කණ්ඩායමේද දොරගුළු විවර කරගන්නට සමත් වූ ක්‍රීඩකයෙකි. ඔහුගේ එම දස්කම් තවදුරටත් මහනුවර කණ්ඩායමට ශක්තියක් වනු ඇත.

හැව්ලොක් කණ්ඩායමෙන් ඉවත්ව මහනුවර ක්‍රීඩා සමාජය වෙත පැමිණි හිටපු ඉසිපතන ක්‍රීඩක ගානුක දිසානායක මහනුවර ඉදිරි පෙළ ක්‍රීඩා කිරීමට එක්වන්නේ ඔවුන් සතුව සිටින කිෂෝර් ජෙහාන්, දමිත් දිසානායක සහ පියුමාල් මංචනායක සුසංයෝගය තවත් සවිමත් කරමිනුයි.

කෙසේ වෙතත් මෙවර තරග වාරය සඳහා අලුතින් මහනුවර කණ්ඩායම සමඟ එක්වූ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ආබාධ වලින් තවමත් සුවය ලබමින් සිටීම මහනුවර කණ්ඩායමට තරමක අවාසියක් වනු ඇත. ජේසන් දිසානායක, අනුරුද්ධ විල්වර සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

පුහුණු සහ සහාය කාර්ය මණ්ඩලය.

පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් පසු පළමු වසරේදීම ශූරතා ත්‍රිත්වයක් වෙත කණ්ඩායම ඔසවා තැබූ මහනුවර කණ්ඩායමේ හිටපු නායක ෂෝන් විජේසිංහ මෙවරත් කන්ද උඩරට කණ්ඩායම පුහුණු කිරීමේ වගකීම දරන අතර පසුගිය වසරේ අතිශයින්ම සාර්ථක වූ තරග රටාව සහ උපක්‍රම වැඩි වෙනසකින් තොරවම මෙවරත් මහනුවර කණ්ඩායම තුලින් දැක ගැනීමට ලැබෙනු ඇත.

මහනුවර කණ්ඩායම වෙනුවෙන් වසර ගණනාවක් ක්‍රීඩා කල දේහධාරී නාලක වීරක්කොඩි සිය කණ්ඩායම් සගයාගේ සහාය පුහුණුකරු ලෙස දායකත්වය ලබා දෙන අතර මේ වසරේදීත් මහනුවර ක්‍රීඩා සමාජ රග්බි කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ කපිල ද සිල්වා මහතායි.

2016/17 සංචිතය

[a-team-showcase-vc ats_team_id=”2138961″]