ශානික්‍ය සහ විහස් තර්ස්ටන් අවසන් පූර්ව වටයට ගෙන යයි

U19 Division 1 Inter-Schools Limited Overs Tournament 2023

437
U19 Division 1 Inter-Schools Limited Overs Tournament 2023

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ Tier B කොටසේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය අද (13) සුදුසුකම් ලබා ගත්තා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

  • ක්‍රීඩාංගණය – සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ
  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය

ක්‍රීඩාංගණයේ පැවැති අයහපත් තත්ත්වය මත මෙම තරගය ආරම්භ වූයේ පන්දුවාර 40ක තරගයක් ලෙසයි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි තර්ස්ටන් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 250ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් ශානික්‍ය දේශප්‍රිය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තා.

ඔහු නායක විහස් තෙව්මික හා එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 71ක දී ලකුණු 113ක සබඳතාවක් ද එක් කිරීමට සමත් වුනා. එහි දී විහස් තෙව්මික පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.

අනතුරුව තර්ස්ටන් ඉනිමට ලකුණු එක් කළේ මුලිත ද කොස්තා. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තා.

එතැනින් නතර නොවූ ඔහු සෙත්රු ප්‍රනාන්දු සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 50ක සබඳතාවක් ද එක් කළා. සෙත්රු ප්‍රනාන්දු පන්දු 14ක දී ලකුණු 11ක් ලබා ගත්තා.

ඊට අමතරව තනුජ රාජපක්ෂ පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී පුලිඳු පෙරේරා ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූ අතර සත්සිළු රත්නායක සහ දුලාර බන්දුලසේන කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 82ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක දුලාර බන්දුලසේන. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18ක්.

ධර්මරාජ ඉනිම අමාරුවේ දැමීමේ දී වැඩි වැඩ කොටසක් කළේ දකුණතින් පිට දඟපන්දු යවන විහස් තෙව්මික. ඔහු පන්දුවාර 8ක් යවමින් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

ඊට අමතරව තනුග පලිහවඩන කඩුලු 2ක් ද විශ්ව ධනංජය සහ ටලීෂ නානායක්කාර කඩුල්ල බැගින් ද දවා ගත්තා.

තර්ස්ටන් විද්‍යාලය – කඩුලු 7ක් දැවී 250 (40) තනුජ රාජපක්ෂ 34, ශානික්‍ය දේශප්‍රිය 87, විහස් තෙව්මික 35, මුලිත ද කොස්තා නොදැවී 41, පුලිඳු පෙරේරා 3/63

ධර්මරාජ විද්‍යාලය – කඩුලු 9ක් දැවී 82 (40) අරෝෂ මහගෙදර 16, දුලාර බන්දුලසේන නොදැවී 18, විහස් තෙව්මික 5/18, තනුග පලිහවඩන 2/16

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 168ක ජයක්.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

  • ක්‍රීඩාංගණය – සාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස
  • කාසියේ වාසිය – මහින්ද විද්‍යාලය

මෙම තරගය ද පැවති අයහපත් කාලගුණ සහ ක්‍රීඩාංගණ තත්ත්වයන් යටතේ පන්දුවාර 20කට සීමා වෙමින් පැවතියා.

එහෙත් එම තරගය ඔවුන්ට පවත්වා ගෙන යෑමට හැකි වූයේ 12 වැනි පන්දුවාරය දක්වා පමණයි. ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දුන් මහින්ද විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් ප්‍රමේෂ් මධුභාෂණ නොදැවී ලකුණු 17ක් ලබා සිටි අතර දැවී ගිය කඩුලු 3න් 2ක් ම හිමි වූයේ විශේන් හැළඹගේට.

තරගය විසඳුමකින් තොරව අවසන් වූවත්, පෙර වටයේ ප්‍රසාද ලකුණු පුවරුව අනුව සාන්ත පීතර ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසීමට සුදුසුකම් ලබා ගත්තා.

මහින්ද විද්‍යාලය – කඩුලු 3ක් දැවී 55 (11.3) ප්‍රමේෂ් මධුභාෂණ නොදැවී 17, විශේන් හැළඹගේ 2/10

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<