විමත් දින්සරගේ ශතකය සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන දෙයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

223
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් අද (30) දිනයේ ක්‍රියාත්මක වුනා.

මෙම තරග අතුරින් ඊයේ (29) ආරම්භ වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය අද සමත් වුනා.

මෙම තරගයේ පළමු දිනය පුරාවටම පිතිකරණයේ යෙදුණු ත්‍රිත්ව පිතිකරුවන් විසින් ඊයේ දිනය අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 341ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, අද උදෑසන ඔවුන් සිය පළමු ඉනිම ලකුණු 357කට සීමා කළා.

ඒ අනුව අද දිනයේ සිය පළමු ඉනිම ආරම්භ කල සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හෝ ලබා ගැනීමට නම් විශාල ඉනිමක් ගොඩ නැංවීමට සිදුව තිබුණා. කෙසේ වෙතත් ලද අභියෝගයට ඉතා විශිෂ්ට ලෙස මුහුණ දුන් සෙබස්තියන් පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 7ක් දැවී ලකුණු 358ක් ලබා සිටියේ සිය පළමු ඉනිමේ ජය ස්ථිර කර ගනිමිනුයි.

මේ වෙනුවෙන් සෙබස්තියන් ආරම්භක පිතිකරු රයන් දිසානායක අර්ධ ශතකයකින් දායක වුනා. කෙසේ වෙතත් ඉනිමේ අංක තුන පිතිකරු ලෙස පිටියට පිවිසුණු විමත් දින්සර දිනයේ වීරයා බවට පත් වෙමින් නොදැවී ලකුණු 128ක් ලබා ගැනීමට සමත් වුනා. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් සහ එක් හයේ පහරකින් වර්ණවත් වුනා.

පන්දු යැවීමේ දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් කවීන් හේශාන් ගමගේ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

  • නුවර ත්‍රිත්ව විද්‍යාලය– 357/10 (92.5) ජයවි ලියනගම 101, විදුක දම්මගේ 65, ජනිත් රවිශ්ක 68, මනුජ චන්තුක 4/102, රයන් දිසානායක 3/56
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 358/7 (91) විමත් දින්සර 128*, රයන් දිසානායක 71, උශේන් සිල්වා 45, කවීන් ගමගේ 3/50, තිසල් යාපා 1/38

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින තරගය ද අද දිනයේ ආරම්භ වුනත් වර්ෂාව හේතුවෙන් තරගය නිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය – 25/1 (6) රන්දුල් සමරහේවා 17, පුනල් පමුදිත 1/11

තරගයේ දෙවන දිනය හෙට (31) පැවැත්වීමට නියමිතයි.

පාසල් ක්‍රිකට් පිටියේ උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<